3. 5. 6.
ඡ ඡක්ක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, තොපට මුල යහපත්වූද මැද යහපත්වූද පරියොසාන යහපත්වූද අර්ථ සහිතවූද ව්‍යඤ්ජන සහිතවූද හාත්පසින් පරිපූර්ණවූද පිරිසිදුවූද බ්‍රහ්මචර්යාව දේශනා කරන්නෙමි. ප්‍රකාශ කරන්නෙමි. එනම් සයේ ධර්ම සයක්ය. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි.
“එසේය, ස්වාමීනි” යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය, බාහිර ආයතන සයක් දතයුතුය, විඤ්ඤාණකාය සයක් දතයුතුය, ඵස්සකාය සයක් දතයුතුය, වේදනාකාය සයක් දතයුතුය, තණ්හාකාය සයක් දතයුතුය.
‘අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය කුමක් නිසා කියන ලද්දේ ද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යි. ‘අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මේ නිසා කියන ලදී. මේ පළමුවැනි ඡක්කය යි.
‘බාහිර ආයතන සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය කුමක් නිසා කියන ලද්දේ ද? රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ධම්මායතනය යි. ‘බාහිර ආයතන සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මේ නිසා කියන ලදී. මේ දෙවැනි ඡක්කය යි.
‘විඤ්ඤාණකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය කුමක් නිසා කියන ලද්දේ ද? ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි, කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි, නාසයත් ගන්ධයත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි, දිවත් රසයත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි, කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදියි, මනසත් දහම්රමුණුත් නිසා මනොවිඤ්ඤාණය උපදියි. ‘විඤ්ඤාණකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මේ නිසා කියන ලදී. මේ තෙවැනි ඡක්කය යි.
‘ඵස්සකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය කුමක් නිසා කියන ලද්දේ ද? ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි. නාසයත් ගන්ධයත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි. දිවත් රසයත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි. කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි. මනසත් දහම්රමුණුත් නිසා මනොවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි. ‘ඵස්සකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මේ නිසා කියන ලදී. මේ සතරවැනි ඡක්කය යි.
‘වේදනාකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය කුමක් නිසා කියන ලද්දේ ද? ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි, ඵස්සය ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි -පෙ- නාසයත් ගන්ධයත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි -පෙ- දිවත් රසයත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි -පෙ- කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදියි -පෙ- මනසත් දහම්රමුණුත් නිසා මනොවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි, ඵස්සය ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. ‘වේදනාකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මේ නිසා කියන ලදී. මේ පස්වැනි ඡක්කය යි.
‘තණ්හාකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය කුමක් නිසා කියන ලද්දේ ද? ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි, ඵස්සය ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි -පෙ- නාසයත් ගන්ධයත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි -පෙ- දිවත් රසයත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි -පෙ- කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදියි -පෙ- මනසත් දහම්රමුණුත් නිසා මනොවිඤ්ඤාණය උපදියි, තිදෙනාගේ එක්වීම ඵස්සය යි, ඵස්සය ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ‘තණ්හාකාය සයක් දතයුතුය’යි මෙසේ යමක් කියන ලද්දේ ද, එය මේ නිසා කියන ලදී. මේ සයවැනි ඡක්කය යි.
‘ඇස ආත්මය’යි යමෙක් කියන්නේ නම්, එය නො යෙදෙයි. ඇසෙහි ඉපදීම ද වැයවීම ද පැනෙයි. යමක ඉපදීම ද වැයවීම ද පැනෙයි නම්, ‘මගේ ආත්මය උපදියි ද නිරුද්ධ වෙයි දා’යි යන මෙය ඔහුට පැමිණෙයි. එහෙයින් ‘ඇස ආත්මය’යි යමෙක් කියන්නේ නම්, එය නො යෙදෙයි. මෙසේ ඇස අනාත්ම ය.
‘රූපයෝ ආත්මය’යි යමෙක් කියන්නේ නම්, එය නො යෙදෙයි. රූපයන්ගේ ඉපදීම ද වැයවීම ද පැනෙයි. යමක ඉපදීම ද වැයවීම ද පැනෙයි නම්, ‘මගේ ආත්මය උපදියි ද නිරුද්ධ වෙයි දා’යි යන මෙය ඔහුට පැමිණෙයි. එහෙයින් ‘රූපයෝ ආත්මය’යි යමෙක් කියන්නේ නම්, එය නො යෙදෙයි. මෙසේ ඇස අනාත්ම ය, රූපයෝ අනාත්ම ය.