3. 5. 4.
නන්දකොවාද සූත්රය
මා විසින් මෙසේ අසනලදී එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි මහා ප්රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් පමණවූ භික්ෂුණීන් සමග භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය. එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියාය. එකත් පස්ව සිටියාවූ මහා ප්රජාපතී ගෞතමී තොමෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළාය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද කරණ සේක්වා, ස්වාමීනි භාග්යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අනුශාසනා කරණ සේක්වා. ස්වාමීනි භාග්යවතුන් වහන්සේ භික්ෂූණීන්ට ධර්ම කථාව කරණ සේක්වා” යනුයි.
එකල්හි වනාහි ස්ථවිර භික්ෂූහු වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කරත්. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ වනාහි වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්දස්ථවිරයන්ට ආමන්ත්රණය කළසේක. “ආනන්දය, වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද කවරෙකුගේ වාරය වේදැයි” ඇසූහ.
“ස්වාමීනි, වාරවශයෙන් භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද නන්දක ස්ථවිරයන්ගේ වාරයවේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දකස්ථවිර තෙම වාරය වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වේයයි” කීය.
එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ නන්දකස්ථවිරයන්ට ආමන්ත්රණය කළසේක. “නන්දකය, භික්ෂූණීන්ට අවවාද කරව, නන්දකය, භික්ෂුණීන්ට අනුශාසනා කරව. බ්රාහ්මණය, නුඹ භික්ෂුණීන්ට ධර්ම කථාව කරවයි” (වදාළේය.)
“එසේය ස්වාමීන් වහන්සැයි, ඒ ආයුෂ්මත්වූ නන්දක ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට උත්තරදී පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්ර සිව්රු ගෙණ සැවැත් නුවරට පිඬුපිණිස පිවිසියේය. සැවැත්නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු ඇතිව රාජකාරාමය යම් තැනෙක්හිද එැතනට එළඹියේය. ඒ භික්ෂුණීහු දුරදීම එන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් දුටුවාහුමය, දැක ආසනයක් පැනවූවාහුය, පා සේදීමට දියද එලෙව්වාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේමය. වැඩහිඳ පා සේදූයේය. ඒ භික්ෂුණීහුද ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ මෙය ප්රකාශ කෙළේය. “නැගණිවරුනි, ප්රශ්න කොට කීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි, කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි කියයුතු වන්නේය. යම් භික්ෂුණියකට සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, එය ‘ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැයි, මගෙන්ම ඇසිය යුත්තේය.’
“ස්වාමීනි, ආර්ය්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරාද එපමණකින්ම අපි ආර්ය්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේට සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමුයි” කීවාහුය.
“නැගණි වරුනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්යය හෝ අනිත්යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය”
“යමක් වනාහි අනිත්ය නම් එය දුක් හෝ සැපවේද?”
“ස්වාමීනි, දුක්ය”
“යමක් වනාහි අනිත්ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, (සුදුසු) නොවේමය”
“නැගණිවරුණි, කුමකැයි හඟිව්ද, කණ නිත්ය හෝ අනිත්ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය
“නාසය නිත්ය හෝ අනිත්ය හෝ වේද?’
“ස්වාමීනි, අනිත්යය”
“දිව නිත්ය හෝ අනිත්ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය.”
“කය නිත්ය හෝ අනිත්ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය.”
“මනස නිත්ය හෝ අනිත්ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්යය.”
“යමක් වනාහි අනිත්යය නම් එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුකය.
‘යමක් වනාහි අනිත්යය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, එය (සුදුසු) නොවේමැයි”. “ඊට හේතු කවරේද?” “ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ අධ්යාත්මික ආයතන සය අනිත්ය වෙත්යයි අප විසින් පළමු කොටම මෙය තත්වූ පරිදි මනා නුවණින් දක්නා ලදී”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ, ආර්ය්යශ්රාවකයාහට ඒ කාරණය එසේමය. “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, රූපයෝ නිත්යය හෝ අනිත්යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්ය වෙත්.”
“යමක් වනාහි අනිත්ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්ය නම්, දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි, දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? ශබ්දයෝ නිත්ය හෝ අනිත්ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්ය වෙත්.”