3. 5. 3.
පුණ්ණොවාද සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.
“ස්වාමීන් වහන්ස, මම භාග්යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා හුදකලා වූයේ, ගණයාගෙන් වෙන් වූයේ, අප්රමාද වූයේ, කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ එබඳු සංක්ෂෙප අවවාදයකින් මට අවවාද කරණසේක් නම් යහපතී” කියායි.
“එසේ වී නම් පුණ්ණ, අසව, මැනවින් මෙනෙහි කරව. දේශනා කරන්නෙමි”යි වදාළ සේක.
“එසේය, ස්වාමීන් වහන්සැ”යි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පුණ්ණය, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත වූ, ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය අගය කරයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය අගය කරන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට නන්දිය (තෘෂ්ණාව) උපදියි. පුණ්ණය, නන්දිය හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“පුණ්ණය, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය අගය කරයිද, එයට බැස ගෙන සිටීද... ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි. නාසයෙන් දතයුතුවූ... ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද... ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි. දිවෙන් දතයුතුවූ... රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද... ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි. කයින් දතයුතුවූ... ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද... ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි. සිතින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප පිණිස පවතින්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්මයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු වෙයිද, එය අගය කරයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ එය අගය කරන්නාවූ එයට බැසගෙන සිටින්නාවූ, ඒ මහණහට නන්දිය උපදියි. පුණ්ණය, නන්දිය හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.
“පුණ්ණ, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත වූ, ඇළුම් කරන්නාවූ, රූපයෝ වෙත්ද, ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය අගය නොකරයිද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය අගය නොකරන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ නන්දිය නිරුද්ධවේ. පුණ්ණ නන්දිය නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි.
“පුණ්ණ, කණින් දතයුතුවූ... ශබ්දයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද... ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි. නාසයෙන් දතයුතුවූ... ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද... ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි. දිවෙන් දතයුතුවූ... රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද... ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවේයයි කියමි. කයින් දතයුතුවූ... ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද... ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි. සිතින් දතයුතුවූ... ධර්මයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය අගය නොකරයිද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය අගය නොකරන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ නන්දිය නිරුද්ධවේ. පුණ්ණ, නන්දිය නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේයයි කියමි.
“පුණ්ණ, මා විසින් මේ සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරණ ලද්දාවූ නුඹ, කිනම් ජනපදයක වාසය කරන්නෙහිද?” “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මේ සංක්ෂෙප අවවාදයෙන් අවවාද කරනු ලැබූ මම සුනාපරන්ත නම් ජනපදයක් ඇත්තේය. එහි වාසය කරන්නෙමි.”
“පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිස්සු චණ්ඩය. පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිස්සු රෞද්රය (පරුෂය). පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද? පුණ්ණය, එහිදී තොපට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද, එහිදී මට මෙබඳු සිතක් වන්නේය: ‘මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඒකාන්තයෙන් භද්රයහ (යහපත්ය). මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඒකාන්තයෙන් ඉතා භද්රයහ. යම් හෙයකින් මොවුහු මට අතින් පහර නොදෙත්ද එහෙයිනි.’ භාග්යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?”
“ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය: ‘මේ සුනාපරන්ත දනව්වැසි මිනිස්සු ඒකාන්තයෙන් භද්රයහ. මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඒකාන්තයෙන් ඉතා භද්රයහ. යම් හෙයකින් මොව්හු මට කැටකින් පහර නොදෙත්ද, එහෙයිනි.’ භාග්යවතුන් වහන්ස මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටයකින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?” “ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය: ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු භද්රයහ. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා භද්රයහ. යම් හෙයකින් මට මොව්හු දණ්ඩකින් පහර නොදෙත්ද, එහෙයිනි.’ භාග්යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”
“පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ තොපට එහිදී වනාහි කෙබඳු සිතක් වන්නේද?” “ස්වාමීනි, ඉදින් වනාහි මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, එහිදී මට මෙබඳු සිතක් වන්නේය: ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු භද්රයහ, ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා භද්රයහ. යම් හෙයකින් මට මේ මිනිස්සු ආයුධයකින් (ශස්ත්රයකින්) පහර නොදෙත්ද, එහෙයිනි’ භාග්යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය”
“පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ එහි වනාහි තොපට කෙබඳු සිතක් වන්නේද?” “ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබඳු සිතක් වන්නේය: ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු භද්රයහ. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා භද්රයහ. යම් හෙයකින් මට මේ මිනිස්සු තියුණු ආයුධයකින් මා ජීවිතයෙන් තොර නොකෙරෙත්ද, එහෙයිනි.’ භාග්යවතුන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබඳු සිතක් වන්නේය.”