3. 5. 2.
ඡන්නොවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුනේ දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය: ‘ඇවැත්වූ චුන්දය, අපි ආයුෂ්මත් ඡන්න තෙම යම් තැනෙක්හිද එතැනට ඔහුගේ අසනීප විමසනු සඳහා යමු’යයි කීහ. ‘එසේය ඇවැත්නි’ කියා ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේගෙන් ‘ඇවැත්වූ ඡන්නය, කිමෙක්ද තොපට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ අඩුවෙත්ද නොවැඩෙත්ද? අඩුවීමක් පැනේද වැඩිදියුණුවීම නොපැනේදැයි’ ඇසූහ.
‘ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස මෙපරිද්දෙන්ම මාගේ බලවත් වාතයෝ හිස විදින්නාහ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ.’
‘ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ බලවත්වූ වාතයෝ හිස සිඳින්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. දැඩිවූ මාගේ දුක්වේදනාවෝ වැඩෙත්. අඩුනොවෙත්. වැඩිවන බැව් පෙනේ, අඩුවන බවක් නොපෙනේ.’
‘ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, යම්සේත් දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ සියුම් ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපන්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩෙන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ.’
‘ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, යම්සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්වල පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි ලා තවන්නාහුද, නැවත නැවත තවන්නාහුද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ ශරීරයෙහි බලවත්වූ දාහයක්වේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩිවූ මාගේ දුක් වේදනා වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පැනේ. අඩුවන බව නොපැනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ආයුධයකින් ගෙල සිඳින්නෙමි. ජීවිතය බලාපොරොත්තු නොවෙමියි’ කීයේය.
‘ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොර කර නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම (ජීවත්වීම) අපි බලාපොරොත්තු වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර නැත්නම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ උපස්ථානයෙක් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධ ගෙන දිවි නසා නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම අපි අපෙක්ෂා කරමු.’
‘ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට සැපවූ ආහාර නැත්තේද නොවෙයි. මට සැපවූ බෙහෙත් නැත්තේද නොවෙයි. මට සුදුසුවූ උපස්ථායකයෙක් නැත්තේද නොවෙයි. එතකුදු වුවත් ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මා විසින් ශාස්තෲන්වහන්සේ බොහෝකලක් මනාපයෙන්ම සේවනය කරනලදී. අමනාපයෙන් නොවේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ශාස්තෲන්වහන්සේ මනාපයෙන්ම සේවනය කරන්නේය. අමනාපයෙන් නොවේය යන යමක් වේද, මෙය වනාහි ශ්‍රාවකයා හට සුදුසුය. අනුපවාද සහිතව (නිවරද කරුණක් ලෙස) ඡන්න භික්ෂුතෙම ආයුධයකින් දිවි තොරකර ගන්නේයයි දනු මැනව. ඇවැත්වූ ශාරීපුත්‍රයෙනි, මෙසේ සිත්හි ධාරණය කරගනු මැනව.’
‘ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේනම්, අපි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු’යි කීහ. ‘ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, අසනු මැනව. අසා දැනගන්නෙමියි’ කීයේය.
‘ඇවැත්වූ ඡන්නය, ඇසය, ඇසෙහි උපදින විඤ්ඤාණය, ඇසෙහි උපදින විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය, කණය, කණෙහි උපදින විඤ්ඤාණය කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේය මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය, නාසය, නාසයෙහි උපදින විඤ්ඤාණය, නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය, දිවය, දිවෙහි උපදින විඤ්ඤාණය දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය, (යන මොවුන්) මෙය මාගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය කයය, කයෙහි උපදින විඤ්ඤාණය, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය, (යන මොවුන්) මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙහිද? ඇවැත්වූ ඡන්නය, මනොවිඤ්ඤාණය, මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, දක්නෙහිදැයි?’
‘ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසය, ඇස පිළිබඳවූ විඤ්ඤාණය ඇස පිළිබඳ විඤ්ඤාණයෙන් දත යුතු ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි දක්නෙමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කණය කණ පිළිබඳවූ විඤ්ඤාණය කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි දකිමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස නාසය, නාසය පිළිබඳවූ විඥානය නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය. (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවය දිව පිළිබඳවූ විඥානය දිව පිළිබඳ වූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයය කය පිළිබඳවූ විඤ්ඤාණය කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි දකිමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්ස, මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳ විඥානයෙන් දතයුතුවූ ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙමියි.’