3. 5. 1.
අනාථ පිණ්ඩිකොවාද සූත්රය
383. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේවේ. එකල්හි වනාහි අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්රණය කෙළේය. “එම්බා පුරුෂය, නුඹ එව. භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹෙව. එළඹ, මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ ශ්රීපාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේවේ. ඒ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රීපාදයන් සිරසින් වඳීයයි,’ (වැඳ) මෙසේද කියව. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙමේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් මැනවැයි’ (කියව.)
“එසේය, ස්වාමීනි” කියා ඒ පුරුෂතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට උත්තරදී භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේය. එළඹ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රීපාදයන් සිරසින් වඳින්නේය කියායි.” ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේටද මෙපවත් සැළකෙළේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳින්නේය. මෙසේද කියයි. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා කර එහි එළඹෙනසේක් නම් මැනවැයි කියායි.’
ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක. 384. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පාත්ර සිව්රු රැගෙණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ පශ්චාත් ශ්රමණයෙකු කොට (දෙවැන්නකු කොටගෙණ) අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, අනේපිඩු සිටුහුගෙන් “කිමෙක්ද? ගෘහපතිය, නුඹට ඉවසිය හැක්කේද? කිමෙක්ද? යැපිය හැක්කේද? කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙත්ද නැතහොත් වැඩිවෙත්ද, අඩුවීමක් පෙනේද, වැඩිවීමක් පෙනේදැ?යි” ඇසූහ.
“ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. අඩුවීමක් නොපෙනේ. වැඩිවීමම පෙනෙන්නේයයි” කීය.
“ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්රයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි ඉතා දැඩි වාතයෝ හිස විදින්නාහුය. ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.
“ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ දැඩිවූ වරපට කඩකින් හිසට හිස්වෙළුමක් දෙන්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි මාගේ හිස දැඩි වාතයෝ හාත්පස සිඳින්නාහුය. ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.
ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් හෝ සියුම්වූ ගෙරි කපන කැත්තෙන් බඩ කපන්නේ වේද, ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහි දැඩි වාතයෝ කුස හාත්පස කපන්නාහුය. ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත් අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙන්නේය.
“ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, යම්සේ වනාහි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතාදුර්වලවූ පුරුෂයෙකු වන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි තවන්නාහුද නැවත නැවත තවන්නාහුද, ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම ශරීරයෙහි දැඩි දාහය (දැවීම) වේ. ස්වාමීනි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේයයි” (කී.)
385. “ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය.’ ගෘහපතිය, එහෙයින් නුඹ විසින් මේ කාරණයෙහිලා මෙසේ හික්මිය යුත්තේය. කණ මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ ඇසුරුකළාවූ විඥානයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුත්තේය. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය ඇසුරු කළාවූ විඥානයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත මමය මාගේයයි නොගන්නෙමි. මාගේ සිත ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.
“ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ශබ්දය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ශබ්දය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ගන්ධය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ගන්ධය ඇසුරුකළාවූ, විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රසය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘රසය’ ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ස්පර්ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘ස්පර්ශ කළයුත්ත’ ඇසුරුකළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ධර්මාරමුණු මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ධර්මය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහි නුඹ විසින් හික්මිය යුතුයි.