3. 4. 9.
අරණ විභංග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි,’ කියා ආමන්ත්‍රණය කළසේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, තොපට අරණ විභංගය දේශනා කරන්නෙමි. එය අසව්. යහපත් කොට මෙනෙහි කරව්, කියන්නෙමි” යනුයි.
“එසේය, ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ ආත්මයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නේය. මේ අන්ත (කොටස්) දෙකට වනාහි නොපැමිණ, ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදා තොමෝ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධ කිරීම පිණිස, නිර්වාණය පිණිස පවතියි. (ස්තුතිකොට) ඔසවා තැබීමද දන්නේය. (නිග්‍රහකොට) පහත් කිරීමද දන්නේය. ඔසවා තැබීමද දැන පහත් කිරීමද දැන නොමඋසස් කරන්නේය. නොම පහත් කරන්නේය. ධර්මයම දේශනා කරන්නේය. සුඛ විනිශ්චය (විනිශ්චය කරණ ලද සැපය) දන්නේය. සුඛ විනිශ්චය දැන අධ්‍යාත්මයෙහි සැපය අනුව යෙදෙන්නේය. රහසි (නැති තැන) අගුණ නොකියන්නේය. හමුවෙහිද ගුණ නසන කථා (කිලුටු වචන) නොකියන්නේය. ඉක්මනින් නොකියා හෙමිහිට කියන්නේය. ලෝක ව්‍යවහාරය දැඩි කොට අල්වා නොගන්නේය. ලෝක ව්‍යවහාරය නොඉක්ම වන්නේය. මේ අරණ විභංගයාගේ උද්දේසය වේ.
“ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍ය වූ, අවැඩ පිණිස පවත්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ පිණිස පවත්නාවූ, ශරීරයට දුක් දීමෙහි නොයෙදෙන්නේයයි, මේ වනාහි මෙසේ කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? කාමාවචර ප්‍රතිසන්ධිය හේතුකොටගෙන කාමයෙන් යුක්තවූ සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ අවැඩ ගෙන දෙන්නාවූ, යම් සොම්නස හා යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිත වෙයි. විනාශ සහිත වෙයි. දැඩිවූ වෙහෙස සහිත වෙයි. දැවීම් සහිත වෙයි. වරදවා පිළිපැදීම වේ. කාමාවචර ප්‍රතිසන්ධි ඇත්තහුගේ හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ සොම්නස හා යම් නොයෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් රහිත වේ විනාශ රහිත වේ. දැඩි වෙහෙස රහිත වේ. දැඩි වෙහෙස රහිත වේ. දැවීම් රහිත වේ. යහපත් පිළිපැදීම වේ. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ යම් ශරීරයට දුක් දීමෙහි යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවීම් සහිතවූ, වරදවා පිළිපැදීම වේ. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස රහිතවූ, දැවීම් නැත්තාවූ යහපත් ප්‍රතිපදාව වේ. “ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නේයයි මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
මේ අන්ත දෙකට (කොටස් දෙකට) නොඑළඹ තථාගතයන් වහන්සේ විසින් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, මනාකොට අවබෝධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදාව සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීයයි මෙසේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මේ ආර්‍ය්‍ය අෂ්ටාඩ්ගික මාර්ගයමවේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළාවූ ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, මධ්‍යම ප්‍රතිපදා තොමෝ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධ කිරීම පිණිස, නිර්වාණය පිණිස පවතියි. මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
‘ඔසවාලීමද දන්නේය. පහත හෙලීමද දන්නේය. ඔසවාලීමද දැන පහත හෙලීමද දැන නොම ඔසවාලන්නේය. නොම පහත හෙලන්නේය. ධර්මයම දේශනා කරන්නේයයි, මෙසේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, කෙසේ නම් ඔසවාලීමත්, පහත හෙලීමත් වේද, ධර්මදේශනා කිරීමත් නොවේද,
කාමාවචර ප්‍රතිසන්ධිය හේතුකොටගෙන කාම සැප ඇත්තහුගේ හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවිලි සහිතවූ වරදවා පිළිපන්නෝයයි කියත් නම්, මෙසේ කියන තැනැත්තේ මේ ආකාරයෙන් සමහරුන් පහත්කොට කථා කරයි. කාමාවචර ප්‍රතිසන්ධිය හේතුකොටගෙන සැප ඇත්තහුගේ කාමයෙන් යුක්තවූ, හිනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණදෙන්නාවූ, සොම්නසෙහි නොයෙදෙන්නෝ වෙයිද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ රහිතවූ, වෙහෙස නැත්තාවූ, දැවිලි නැත්තාවූ, මනාව පිළිපන්නෝයයි කියත් නම්, මෙසේ කියන තැනැත්තේ මේ ආකාරයෙන් සමහරුන් ඔසවා කථා කරන්නේය.
“යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යෙදෙන්නාහු වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ, වරදවා පිළිපන්නෝයයි කියයි නම්, මෙසේ කියන්නේ මේ ආකාරයෙන් සමහරුන් පහත් කොට කථා කරයි. යම් කෙනෙක් දුක්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නාහුද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙසීම් නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහු යයි මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතැමුන් ඔසවා කථා කරයි.
යම්කිසි කෙනෙකුන්ගේත් භවසංයෝජනය (භව තෘෂ්ණාව) ප්‍රහීණ නොවූයේද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවීම් සහිත වූවාහු, වරදවා පිළිපන්නාහුයයි කියයි, නම් මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතමුන් පහත හෙලා කථා කරයි. යම්කිසි කෙනෙකුන්ගේත් විභව සංයෝජනය ප්‍රහීණ වූයේද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙස නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහුයයි මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතමුන් ඔසවා කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි ඔසවාලීමද, පහත හෙලීමද වෙයි. ධර්මදේශනා කිරීම නොවෙයි.
“මහණෙනි, කෙසේ නම් ඔසවාලීමත්, පහත නොහෙලීමත් නොවේද, ධර්මදේශනා කිරීමක්වේද? කාමාවචර ප්‍රතිසන්ධිය නිසා සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්‍ය්‍යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවිලි සහිත වූවාහු, වරදවා පිළිපන්නාහුයයි මෙසේ නොකියයි. මේ කම් සැපෙහි යෙදීමම දුක් සහිත වේ. විනාශ සහිතවේ. වෙහෙස සහිත වේ. දැවීම් සහිත වේ. මිථ්‍යා ප්‍රතිපදාවයයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.