3. 4. 10.
ධාතු විභංග සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භග්ගව නම් කුම්භකාර තෙම යම්තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. “භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි” යනුයි.
“ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් හෙතෙම අවසර දෙයි නම් ස්වාමීනි, සැපසේ වාසය කරනු මැනවැ’ යි කීය.
“එකල්හි වනාහි පුක්කුසාති නම් කුලපුත්රතෙම භාග්යවතුන් වහන්සේ උදෙසා ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. “මහණ, ඉදින් තොපට බරක් නොවේ නම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි”යි “ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා”යි කීය.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක තණ ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක ඉක්බිති භාග්යවතුන් වහන්සේ රාත්රියෙහි වැඩිකාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුස්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්රියෙහි වැඩි කාලයක් හිඳගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්ර තෙමේ වනාහි ප්රසාද එලවන පරිද්දෙන්ම ඉරියව් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි, කියායි. එකල්හි භාග්යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. “මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැ?”යි ඇසූහ.
“ඇවැත්නි, ශාක්යපුත්රවූ ශාක්ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්යක් සම්බුද්ධය, විද්යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්යවත්ය, යනුවෙනි. මම ඒ භාග්යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්යවත්හුගේ ධර්මය කැමති වෙමියි’යි කීය.
“මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්යක් සම්බුද්ධවූ භාග්යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ?”යි ඇසූහ.
“ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන් වහන්සේ වාසය කරණසේකැයි” කීය.
“මහණ, තොප විසින් ඒ භාග්යවත් තෙමේ දක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ”යි ඇසූහ.
“ඇවැත්නි, ඒ භාග්යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදි. මම දැක නොහඳුනන්නෙමි”යි කීය.
එකල්හි භාග්යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දේශනා කරන්නෙම් නම් යෙහෙකැ’යි කියායි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්රණය කළසේක. “මහණ, තොපට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළේය.
“ඇවැත්නි, එසේයයි” කියා භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
‘මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත වන්නේය, ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටියහුට වැරදි හැඟීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැඟීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අර්හත් ඵල) ප්රඥාවට ප්රමාද නොවන්නේය. වාග් සත්යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳිමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දෙසය වේ.
“මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි). මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
“මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵස්ස ආයතනය, ජිව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්ඵස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
“මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම්වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටළොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියනලද නම් ඒ මේ සඳහා කියන ලදී.
“මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියනලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්රඥාව පිහිටීම කොට ඇත්තේය. සත්යය පිහිටීම කොට ඇත්තේය. ත්යාගය පිහිටීම කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි). මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.