3. 4. 8.
උද්දෙස විභංග සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, තොපට උද්දෙසයත් විභංගයත් (මාතෘකාවද විස්තරයද) දේශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහිකරව්. කියන්නෙමි” යනුයි.
“එසේය, ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, භික්ෂුතෙම යම් යම් ආකාරයකින් නුවණින් පිරිසිඳ බලන්නෙකුට පිටත් අරමුණුවල සිත නොවිසිරයන්නේද ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටියේද, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා ආශාවෙන් තැතිනොගන්නේද? ඒ ඒ ආකාරයෙන් පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවලැ නොවිසිර ගිය කල්හි භාවනා අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති ජරා මරණ දුක්ඛ සමුදයන්ගේ හටගැණීමෙක් නොවන්නේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.
ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය. ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් මේ උද්දෙසය වදාරා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක. “පිරිසිඳ බලන්නහුට පිටත් අරමුණුවල සිත නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් සිත නොපිහිටයිද විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත විසිර නොගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නා කල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේය”යි වදාළේය. කවරෙක් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරනලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්නේදැයි’ කියායි.
එකල්හි ඒ භික්ෂූන්ට මෙබඳු අදහසක් විය. ‘මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්ණනා කරණ ලද්දේය. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්ට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට යමු. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යහපතැයි’ යනුයි. ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට මෙය කීවාහුය:
“ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක. ‘මහණෙනි, යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල නොවිසිරගිය කල්හි නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි, විඤ්ඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැතිගැන්මක් නැත්තහුට මත්තෙහි ජරා, ජරා, මරණය දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේය’ යනුයි. ආයුෂ්මත්වූ කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැරගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය:
‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් මේ උද්දෙසය වදාරා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක: “යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නෙකුට සිත පිටත් විසිර නොයන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත නොවිසිර ගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, තමායයි නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හට ගැනීමක් නොවන්නේය” යනුයි. කවරෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්නේදැයි’ කියායි.
“ආයුෂ්මත් කච්චායන ස්ථවිරයෙනි, ඒ අපට මෙබඳු සිතක් විය. ‘මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති භික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්ට සමර්ථ වේ. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කරුණ අසන්නෙමු නම්, යහපතැයි’ කියායි. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ එය විස්තර කෙරේවා” යි කීවාහුය.
“ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙම හර සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටියාවූ, හර ඇත්තාවූ, මහත් ගසක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතු රිකිලිවල හරය සෙවිය යුතුයයි හඟින්නේද, මෙයත් එසේය. ආයුෂ්මතුන්ලාට ශාස්තෲන් වහන්සේ සම්මුඛවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කරුණ ඇසිය යුතුයයි හඟින්නහුය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නාහ. දැක්ක යුත්ත දක්නාහ. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්මයක්ම වූයේ, ශ්‍රේෂ්ඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්ථයට පමුණුවන්නෙක් වූයේ, අමෘතය දෙන්නෙක් වූයේ, ධර්මස්වාමී වූයේ, තථාගතවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසිය යුත්තේය. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නහුය. මෙය ඊට සුදුසු කාලයද වූයේයයි” කීය.