3. 4. 7.
සළායතනවිභඞ්ග සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, මම තොපට සළායතන විභංගය දේශනා කරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්. කියන්නෙමි.”
“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ආධ්යාත්මික ආයතන සයක් දතයුතුය. බාහිර ආයතන සයක් දතයුතුය. විඤ්ඤාණ කාය සයක් දතයුතුය. ඵස්ස කාය සයක් දතයුතුය. මනොපවිචාර අටළොසක් දත යුතුය. සත්ව පද සතිසක් දතයුතුය. එහි මෙය නිසා මෙය දුරුකරව්. යම් ආර්ය්යයෙක් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නාවූ ආර්ය්යවූ ශාස්තෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවෙයි. හෙතෙම යෝගාවචරයන්ගේ අනුත්තරවූ පුරිසදම්මසාරථි යයි කියනු ලැබේ. මෙය සළායතන විභංගයේ උද්දේසයයි.
“‘ආධ්යාත්මික ආයතන සයක් දතයුතුය’යි මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මොහුයි. ‘ආධ්යාත්මික ආයතන සයක් දතයුතුය’යි මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.”
“‘බාහිර ආයතන සයක් දත යුතුය’යි මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ධම්මායතනය යන මොහුයි. ‘බාහිර ආයතන සයක් දතයුතුය’යි මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියන ලදී.”
“‘විඤ්ඤාණ කාය සයක් දතයුතුය’යි මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය යන මොහුයි. ‘විඤ්ඤාණ කාය සයක් දතයුතුය’යි මෙසේ ඒ යමක් කියන ලදද? එය මේ සඳහා කියන ලදී.”
“‘ඵස්ස කාය සයක් දතයුතුය’යි මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛුසම්ඵස්සය, සොත සම්ඵස්සය, ඝාන සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය, මනො සම්ඵස්සය යන මොහුය. ‘ඵස්ස කාය සයක් දත යුතුය’යි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.”
“‘මනොපවිචාර අටළොසක් දතයුතු ය’යි මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. නැහැයෙන් ගඳ ආඝ්රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශකොට සොම්නසට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ ධර්මාරමුණ අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොමනස්සුපවිචාරයෝ සයක්ද, දොමනස්සුප විචාරයෝ සයක්ද, උපෙක්ෂොපවිචාරයෝ සයක්ද යන ‘මනොපවිචාරයෝ අටළොසක් දතයුතුය’යි මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.”
“‘සත්තපද (සත්වයන්ගේ පැවැත්මට හේතු) සතිසක් දත යුතුය’යි මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෙහසිතවූ සොමනස්සයෝ සයක් වෙත්. නෙක්ඛම්මසිතවූ සොමනස්සයෝ සයක් වෙත්. ගෙහසිතවූ දොමනස්සයෝ සයක් වෙත්. නෙක්ඛම්මසිතවූ දොමනස්සයෝ සයක් වෙත්. ගෙහසිතවූ උපෙක්ෂා සයක් වෙත්. නෙක්ඛම්මසිතවූ උපෙක්ෂා සයක් වෙත්.”
“එහි ගෙහසිතවූ සොම්නස් හය කවරහුද? චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ කැමතිවූ මනාපවූ සිත සතුටු කරන්නාවූ ලෝකාමිෂ සංඛ්යාත තෘෂ්ණාවෙන් යුක්තවූ රූපයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් සමනුපස්සනා කරන්නාහටද, පූර්වයෙහි ලබන ලද ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහි කරන්නහුටද සොම්නසක් උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ‘ගෙහසිත සොමනස්සය’යි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ ...පෙ... ඝාණවිඤ්ඤාණයෙන් දතයුතුවූ ...පෙ... ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ...පෙ... කාය විඥානයෙන් දතයුතුවූ ...පෙ... මනො විඥානයෙන් දතයුතුවූ කැමතිවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, සිත පිනවන්නාවූ, ලෝකාමිෂ සංඛ්යාත තෘෂ්ණාවන්ගෙන් යුක්තවූ, ධර්මයන්ගේ ලැබීම ලැබීම් වශයෙන් සමනුපස්සනා කරන්නහුටද, පූර්වයෙහි ලබනලද, ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (ධර්මාරමුණ) සිහිකරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ‘ගෙහසිත සොමනස්සය’යි කියනු ලැබේ. මොහු ගෙහසිත සොම්නස් හය වෙත්.”
“එහි නෙක්ඛම්මසිත සොම්නස් හය කවරහුදයත්? රූපයන්ගේම අනිත්ය බව වෙනස්වීම, නොඇල්ම, නිරුද්ධවීම දැන, ‘පූර්වයෙහි යම් රූපයෝ වූවාහුද දැන් යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්යයහ, දුක්යහ, විපරිණාම ස්වභාව ඇත්තාහ’යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ‘නෙක්ඛම්මසිත සොමනස්සය’යි කියනු ලැබේ. ශබ්දයන්ගේම ...පෙ... ගන්ධයන්ගේම ...පෙ... රසයන්ගේම ...පෙ... ස්පර්ශයන්ගේම ...පෙ... ධර්මයන්ගේම අනිත්ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, ‘පූර්වයෙහි යම් ධර්මයෝ වූවාහුද, දැන් යම් ධර්මයෝ වෙත්ද, ඒ සියලු ධර්මයෝ අනිත්යයහ, දුක්ඛයහ, විපරිණාම ස්වභාව ඇත්තාහුය’යි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ‘නෙක්ඛම්මසිත සොමනස්සය’යි කියනු ලැබේ. මොහු නෙක්ඛම්මසිත සොම්නස් හය වෙත්.”