3. 4. 6.
6. මහාකම්ම විභංග සූත්‍රය
298. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම අරණ්‍ය කුටියෙක්හි වාසය කරයි.
එකල්හි පොතලිපුත්ත නම් පරිව්‍රාජක තෙම ජංඝාවිහරණයෙන් (පා ගමනින්) සක්මන් කරන්නේ ගමන් කරන්නේ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ “පොතලිපුත්ත” නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, කාය කර්මය හිස්ය. ඵල රහිතය. වාග් කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මයම සත්‍යය යන මෙය මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් අසනලදී. උන්වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේදැ”යි ඇසීය.
“ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව, ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට නින්දා නොකරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ කාය කර්මය හිස්ය, ඵල රහිතය. වචී කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මය සත්‍යයයි මෙසේ නොවදාරන්නේය. ඇවැත්නි, යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේමැයි.”
“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, ඔබ පැවිදිව කෙතෙක් කල් වූයෙහිදැ”යි (ඇසි.)
“ඇවැත්නි, බොහෝ කල් නොවේ. තුන් අවුරුද්දකැ”යි කීය.
“යම් තැනෙක්හි (යම් සස්නෙක්හි) මෙසේ නවක භික්ෂු තෙම ශාස්තෲන් වහන්සේ ආරක්ෂා කළයුත්තෙකු කොට හඟින්නේ නම් මෙහිදී අපි ස්ථවිර භික්ෂූන් ගැන කුමක් කියන්නෙමුද? “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට ඒ පුද්ගලතෙමේ කිනම් වේදනාවක් විඳීද?”
“ඇවැත් පොතලිපුත්‍රය, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට, ඒ පුද්ගල තෙමේ වේදනාව විඳින්නේය.”
ඉක්බිති පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ගේ කීම නොපිළිගත්තේය. ප්‍රතික්ෂෙපද නොකෙළේය. නොසතුටුවී, ප්‍රතික්ෂෙපද නොකොට හුනස්නෙන් නැගිට ගියේය.
299. ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා බැහැර ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමගවූ කථා සල්ලාපය යම් පමණක්වීද, ඒ සියල්ල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කීයේය. එසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඇත්තේමය. ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු” යනුය.
“ඇවැත්නි, එසේය,” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමග කළ කතාබහ යම් පමණක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේය.
එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාළේය. ‘ආනන්දය, මම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා දුටු බවක්වත් නොදනිමි. මෙබඳු කථා බහක් කෙසේ ඇති වන්නේද? ආනන්දය, මේ සමිද්ධි නම් හිස් පුරුෂයා විසින් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට බෙදා ප්‍රකාශ කටයුතුවූ ප්‍රශ්නය එක් අංශයකින් ප්‍රකාශ කෙළේය.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට “ස්වාමීනි, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් විසින් ‘යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය’ යන මෙය සඳහා කියන ලද්දක් විය හැකිය” යි කීය.
300. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, මේ උදායී නම් මොඝ පුරුෂයාගේ නොමඟ යාම නුඹ, බලව. ආනන්දය, මම වනාහි දැන්ම මේ උදායී නම් හිස් පුරුෂතෙම කාරණානුකූලව නොගෙන හිස ඔසවන්නේ යයි දැනගතිමි. “ආනන්දය, මුලදීම පොතලීපුත්‍ර නම් පරිව්‍රාජකයා විසින් වේදනා තුන අසන ලද්දාහ. ආනන්දය, ඉදින් මේ සමිද්ධිනම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කෙළේ නම්, (කෙසේද?) ‘ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන සැප විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම සැප විඳියි. ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක් විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක් විඳියි. ඇවැත් පොතලිපුත්‍රය කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක්ද නොවූ සැපද නොවූ වේදනා විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳියයි’ ආනන්දය, මෙසේ ප්‍රකාශ කරන්නාවූම සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මනාකොට ප්‍රකාශ කරන්නේය. “ආනන්දය, එතකුදුවුවත් අව්‍යක්තවූ බාලවූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ කවරහුද? තථාගතයන්ගේ මහාකර්ම විභාගය කවරහු දන්නාහුද? ආනන්දය, ඉදින් තෙපි මහා කර්ම විභාගය, බෙදා දක්වන්නාවූ තථාගතයන්ගේ (ඒ ධර්මය) අසන්නහුදැයි” (ඇසූහ.)
‘භාග්‍යවතුන් වහන්සේ යම් මහා කර්ම විභංගයක් බෙදා වදාරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේගේ (සමීපයෙන්) අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)
“ආනන්දය, එසේ වීනම්, අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.
“ස්වාමීනි, එසේයයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ආනන්දය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වන්නාහුය. කවර සතර දෙනෙක්ද යත්, ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙහි ප්‍රාණඝාත කරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්වූ කථා ඇත්තේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.