3. 4. 5.
චූලකම්ම විභංග සූත්‍රය
289. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි තොදෙය්‍ය බ්‍රහ්මණයාගේ පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූම තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය:
“භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම උස් පහත් කම් දක්නා ලැබෙත්ද, එයට හේතු කවරේද? එයට කරුණු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප ආයුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. අවලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම මෙසේ උස් පහත් කම් බැව් දක්නා ලැබෙත්ද, ඊට හේතු කවරේද, කරුණු කවරේද” යනුයි.
“මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.”
“මම, භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද ධර්මයාගේ, අර්ථය විස්තර වශයෙන් දැන ගන්නෙම්ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ මට දේශනා කළහොත් මැනවැයි” කීය.
290. “මානවකය, එසේ වීනම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි” (වදාළේය.)
“එසේය, පින්වතුන් වහන්සැයි” කියා, තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය:
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. මානවකය, රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේනම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.
“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලෝකයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනෙක්හි පසුව උපදීද, දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මේ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.
291. “මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරණ ස්වභාව ඇත්තේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන්වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකෙන් යුක්තවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකින් යුක්තවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, බොහෝ රෝග ඇත්තේ වෙයි. මානවකය, සත්වයන්ට අතින් හෝ කැටින් හෝ දඬුයෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා කරණ ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේය.
“මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන්ට අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප රෝග ඇත්තේ වේ. මානවකය, සතුන්ට අතින් හෝ කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ ශස්ත්‍රයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ නම් මේ පැවැත්ම අඩු රෝග ඇති බව පිණිස පවත්නේය.
292. “මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ කිපෙන සුළු වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුළුවූයේ ද්වේෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියනලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ම අවලක්ෂණවීම පිණිස පවත්නේය.