3. 4. 4.
4. ලොමසකඩ්ගිය භද්දෙකරත්ත සූත්‍රය
286. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් “ලොමසකඩ්ගිය” ස්ථවිරතෙම ශාක්‍ය ජනපදයන්හි කපිලවස්තු පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම මධ්‍යම රාත්‍රියෙහි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු නිග්‍රොධරාමය ආලෝක කොට ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ චන්දන දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරයන්ට මෙසේ කීයේය.
“භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත නම්, ධර්මයාගේ උදෙසීමද (මාතෘකාවද) විභාගයද (විස්තරයද) දරන්නෙහිද?” යනුය.
“ඇවැත්නි, මම භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි.
ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද?
“භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි.
භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?
“ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා නොදරමි.
ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?”
“භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරමියි කීය.
ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම් භද්දෙකරත්ත ගාථා දරන්නෙහිදැ?”යි ඇසී.
“භික්ෂූන්වහන්ස, එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ තව්තිසා දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි (පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි) වැඩ වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේවශයෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණ විය. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.
[2] “ප්‍රත්‍යුත්පන්නවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යාදි වශයෙන් බලන්නේය. නුවණැති පුද්ගල තෙමේ නොවිසිරෙන්නාවූ නොකිපෙන්නාවූ ඒ විදර්ශනා ඥානය වඩන්නේය.
[3] “කෙලෙස් තවන වීර්‍ය්‍යය වැඩිය යුතුයි මරණය අද හෙටම පැමිණේදැයි කවරෙක් දන්නේද? ඒ මහා සේනාවක් ඇති මරුවා සමග අපගේ ගිවිසුමක් නැත්තේය.
[4] රෑ දාවල් අනලස්ව වීර්‍ය්‍ය ඇතිව මෙසේ වාසය කරන්නාවූ ඔහු ඒකාන්තයෙන් ශාන්තවූ සර්වඥ මුනිතෙම භද්දෙකරත්තයයි කියන්නේය” (යනුවෙනි.)
“භික්ෂූන් වහන්ස, මම වනාහි මෙසේ භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද, විස්තරයද, ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනවි. භික්ෂූන් වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවේ ආදිය වන්නේයයි” මෙසේ චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන්වූයේය.
287. “ඉක්බිති ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම ඒ රාත්‍රියගේ ඇවෑමෙන් සේනාසනය තැන්පත්කොට පාත්‍රසිව්රු ගෙණ සැවැත් නුවර යම් තැනකද, එතැන්හි චාරිකා පිණිස ගියේය. පිළිවෙළින් ගමන් කරන්නේ සැවැත් නුවර යම් තැනකද, ජේතවනය යම් තැනකද, අනේපිඩු මහ සිටුහුගේ ආරාමය යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් ලොමසකඩ්ගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මම එක් කලෙක්හි ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි එක්තරා දිව්‍යපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි බබළන වර්ණයෙන් යුක්තව නිග්‍රොධාරාමය හාත්පස බබුළුවා මම යම් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක්පසක සිටියේය. ස්වාමීනි, එක් පසක සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට මෙසේ කීයේය. ‘භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද? යනුයි. මෙසේ කී කල්හි, ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයාට, ‘ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කියෙමි. ‘ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහි දැයි, මම ඇසීමි. ‘භික්ෂූන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කීය. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, දිව්‍යපුත්‍ර තෙම ඇසීය. “ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් නොදරමියි, කීයෙමි. ‘ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි. ‘භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරමියි කීය. ‘ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම්, භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි.
‘භික්ෂූන් වහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන් අතර පරසතු ගසමුල පඬැ’ඹුල් සලස්නෙහි වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය. [2] “වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය. [3] “අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනා ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය. [4] මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ ඒකාන්තයෙන් භද්දෙකරත්තයයි ශාන්තවූ සර්වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේය යනුවෙනි.
භික්ෂූන් වහන්ස, මෙසේ වනාහි මම භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද උගනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනව. භික්ෂූන්වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වේයයි කීය. ස්වාමීනි, ඒ දිව්‍යපුත්‍රතෙම මෙසේ කියා එහිම අතුරුදහන් වූයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දේශනා කරන්නේ නම් මැනවැයි” කීය.
288. “මහණ, නුඹ ඒ දිව්‍යපුත්‍රයා කවරෙක්දැයි දන්නෙහිදැයි, ඇසුහ.
“ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයා නොදනිමියි” කීය.