3. 4. 3.
මහා කච්චායන භද්දේකරත්ත සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ රාත්රියෙහි අළුයම් කාලයෙහි හුනස්නෙන් නැඟිට, තපෝදා නම් උණුදිය ගඟ යම් තැනෙක්හිද එතැනට ස්නානය කිරීම පිණිස ගියේය. තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩට පැමිණ එක් සිවුරකින් යුක්තව ශරීරය වියලනු ලබමින් සිටියේය. එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්රි කාලය බොහෝ ඉක්ම ගිය පසු බබළන ශරීර වර්ණය ඇතිව මුළු තපෝදා ගඟ බබුළුවා ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, එකත්පසක සිටියේය, එකත් පසක සිටියාවූ ඒ දෙවතා තොමෝ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය.
“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක් රාත්රියක් ඇත්තාහුගේ උදෙසීම් සංඛ්යාත මාතෘකාවද, විභංග සංඛ්යාත විස්තර වශයෙන් බෙදීමදැයි, (යන මෙය) දරන්නෙහිද?” යනුයි.
“ඇවත, මම යහපත් එක්රාත්රියකගේ මාතෘකාවද බෙදීමද නොමදරන්නෙමියි කීයෙමි
ඇවත, තෙපි වනාහි යහපත්වූ එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් දරන්නෙහිදැයි
(ඇසූ) මමද යහපත්වූ එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරන්නෙමියි” කීය
“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක්රාත්රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි’ (ඇසී.)
ඇවත, මම යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ ගාථාවන් නොදරන්නෙමියි කීයෙමි.
“ඇවත, නුඹ වනාහි යහපත්වූ එක්රාත්රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි, ඇසීමි.”
“භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්රියක් ඇත්තහුගේගාථාවන් නොදරන්නෙමියි” (කීයෙමි.)
“භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙණගනු මැනවි. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද පුරුදු කරණු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දරණු මැනවි. “භික්ෂූන්වහන්ස, යහපත්වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද අර්ථ සහිත වන්නේය. මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල වන්නේයයි” (කි.)
ඒ දේවතාතොමෝ මෙය කීවේය. මෙය කියා එහිම අතුරුදහන් විය. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ රාත්රියගේ ඇවෑමෙන් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. “ස්වාමීනි, මම රාත්රියේ අළුයම් කාලයෙහි හුනස්නෙන් නැඟිට තපෝදා නම් ගඟ යම් තැනෙක්හිද ස්නානය කිරීම සඳහා එහි ගියෙමි. තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩ අවුත් ශරීරාවයවයන් වියලමින් එක සිවුරකින් යුක්තව සිටියෙමි. ස්වාමීනි, එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්රිය බොහෝ සෙයින් ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු තපෝදා නම් ගංඟාව බබුළුවා මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ එකත්පසක සිටියේය. ස්වාමීනි, එකත්පසක සිටියාවූ ඒ දේවතාතොමෝ මට මෙසේ කීවාය.
‘භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද විස්තර බෙදීමද දරන්නෙහිදැයි? ඇසී.
“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ඒ දේවතාවාට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, මම යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් නොමදරමි.’
‘ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්රියකගේ මාතෘකාවද බෙදීමද දරන්නෙහිදැයි’ (ඇසීමි.)
‘භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරමි.
‘භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ වනාහි යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහිදැයි, (ඇසී.)
‘ඇවැත්නි, මම වනාහි යහපත්වූ එක් රාත්රියක් ඇත්තහුගේ ගාථාවන් නොදරමි.
ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්රිය සම්බන්ධ ගාථාවන් දරන්නෙහිදැයි,’ (ඇසීමි.)
‘භික්ෂූන්වහන්ස, මමද යහපත්වූ එක් රාත්රියක් ඇත්තහුගේගාථාවන් නොදරමි.
භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත්වූ එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹ වහන්සේ යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද, පුරුදු කළ මැනවි. භික්ෂූන් වහන්ස, නුඹ වහන්සේ යහපත්වූ එක් රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද, බෙදීමද, දරාගත මැනවි. ‘භික්ෂූන්වහන්ස, යහපත් එක් රාත්රියක් ඇත්තහුගේ උදෙසීමද, බෙදීමද, අර්ථයෙන් යුක්ත වන්නේය. මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල වන්නේය,
ස්වාමීනි, ඒ දේවතාතොමෝ මෙසේ කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන් වූවාහ. “ස්වාමීනි, මට භාග්යවතුන්වහන්සේ යහපත් එක්රාත්රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දේශනා කරණ සේක්වායි” (සැලකෙළේය.)
“මහණ, එසේ නම් අසව, මෙනෙහි කරව. කියන්නෙමියි” (වදාළේය.)
“එසේය, ස්වාමීනියයි” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[1] “ඉකුත්වූ ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත ස්කන්ධයන් ප්රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්රහීණ වූයේ (නැතිවූයේ) වෙයි. අනාගත ස්කන්ධ නොපැමිණියේ වෙයි.
[2] “වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය අනිත්යානු පස්සනාදී වශයෙන් ඒ ඒ තන්හි විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමෙ වඩන්නේය.
[3] “අදම කෙලෙස් තවන වීර්ය්යයකළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග, අපට ගිවිසුමක් නැත්තේය.
[4] “මෙසේ වාසය කරන්නාවූ කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්, යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි” ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවක් ගතවූ කල්හි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, මේ වනාහි අපට භාග්යවතුන් වහන්සේ සංක්ෂෙප වශයෙන් උදෙසීම වදාරා, විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට, හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූසේක.