3. 4. 2.
ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙණහැර දක්වයි. එහි යොදවයි. තෙද ගන්වයි. සතුටු කරවයි. භද්දෙකරත්ත (යහපත් එක් රැයක් ඇත්තහුගේ) උද්දේසයත් විභංගයත් ප්‍රකාශ කරයි.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද බුද්ධාසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, භද්දෙකරත්ත උද්දේසයත් විභංගයත් කීයේදැයි’?
“ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේය. යෙදවූයේය. තෙද ගැන්වූයේය. සතුටු කෙළේය. භද්දෙකරත්ත උද්දේසයත් විභංගයත් කීයේ ය.”
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, තෙපි වනාහි කවර පරිද්දෙකින් භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේද, යෙදවූයේද, තෙදගැන්වූයේද සතුටු කෙළේද, භද්දෙකරත්ත උද්දේසයත් විභංගයත් ප්‍රකාශ කෙළේදැයි’?
“ස්වාමීනි මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටුකෙළෙමි. භද්දෙකරත්ත උද්දේසයත් විභංගයත් ප්‍රකාශ කෙළෙමි:
“ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ (නැතිවූයේ) වෙයි. අනාගතවූ යම් ස්කන්ධයක්වේද, එය නොපැමිණියේය.
“වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය අනිත්‍යානු පස්සනාදීන්ගෙන් ඒ උපන් උපන් තන්හි විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
“අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. මරණය හෙට හෝ සිදුවන්නේයයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග ගිවිසුමක් නැත්තේය.
“මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේයි.”
“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද, ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තේ වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේද? ‘මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව නොපවත් වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ඇවැත්නි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේද? ‘අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. ‘ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේද? ‘අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය.’ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.
“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇද ගනීද? ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූතැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඤ්ඤාණය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇද ගැනීම වේ.
“ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොවේද, ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ ඇසූපිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. ... විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. ඇවැත්නි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා වශයෙන් ඇදගනීම නොවේ.
“අතීත පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය. වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. රාගාදීන්ගෙන් විසිරීමක් නැත්තාවූ කුපිත නොවන්නාවූ ඒ විදර්ශනාව පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය. අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුමක් අපට නැත්තේය. මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒකාන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධමුනි තෙමේ වදාළේය.”
“ස්වාමීනි, මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. භද්දෙකරත්ත උද්දේසයත් විභංගයත් ප්‍රකාශ කෙළෙමියි’ සැලකෙළේය.