3. 4. 11.
සච්චවිභංග සූත්රය
371. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි, කියා ආමන්ත්රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහිදී ශ්රමණයෙකු විසින් හෝ බ්රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදී. එනම්, චතුරාර්ය්ය සත්යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය, (යනුයි.) කවර චතුරාර්ය්ය සත්යයන්ගේද? දුක්ඛ නම් ආර්ය්ය සත්යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්ය්ය සත්යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය. දුක්ඛ නිරෝධ නම් ආර්ය්ය සත්යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය, දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදා නම් ආර්ය්ය සත්යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය, (යන සතරයි). මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිකෙනෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදී. එනම්, මේ සතර ආර්ය්ය සත්යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමට, ප්රකට කිරීමය.
“මහණෙනි, ශාරීපුත්ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්ර තෙම චතුරාර්ය්ය සත්යයන් විස්තර වශයෙන් කියන්ට දේශනා කරන්ට පනවන්ට පිහිටුවන්ට විචරණය කරන්ට විභාග කරන්ට ප්රකට කරන්ට සමර්ථවේයයි.”
භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.
372. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි භික්ෂූන්ට “ඇවැත් මහණෙනියි” ආමන්ත්රණය කළ සේක. “ඇවැත්නි,” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිර තෙමේ මෙය ප්රකාශ කෙළේය.
“ඇවැත්නි, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්රය පවත්වන ලදී. එනම්, මේ චතුරාර්ය්ය සත්යයන්ගේ කීමයි, දෙසීමයි, පැනවීමයි, පිහිටුවීමයි, ප්රකාශ කිරීමයි, විභාග කිරීමයි, ප්රකට කිරීමයි. කවර සතර ආර්ය්ය සත්යයන්ගේද? දුක්ඛ නම් ආර්ය්ය සත්යයාගේ කීමය දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්ය්ය සත්යයාගේ දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය. දුක්ඛ නිරෝධ නම් ආර්ය්ය සත්යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්රකාශ කිරීමය, විභාග කිරීමය, ප්රකට කිරීමය. දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදා නම් ආර්ය්ය සත්යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණය, විභාග කිරීමය, ප්රකට කිරීමය, (යනුයි).
373. “ඇවැත්නි, දුක්ඛ නම් ආර්ය්ය සත්යය කවරේද? ඉපදීමද දුක්වේ. දිරීමද දුක්වේ. මැරීමද දුක්වේ. සොක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහුද දුක් වෙත්. කැමැති වන්නාවූ යමක් නොලැබේද, එයද දුක් වේ. කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්.
“ඇවැත්නි, ඉපදීම නම් කවරීද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්, හටගැනීමක්, පිළිසිඳීමක්, පහළවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්රතිලාභයක් වේද, ඇවැත්නි, මෙය ජාතියයි කියනු ලැබේ. (ඉපදීමයයි කියනු ලැබේ).
“ඇවැත්නි, ජරාව කවරීද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ජරාවක්, දිරණ බවක්, කැඩෙන බවක්, පැසෙන බවක්, රැලි වැටුනු සිවිය ඇති බවක්, ආයුෂයාගේ පිරිහීමක්, ඉන්ද්රියන්ගේ මේරීමක් වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මරණය කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙන් යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදන්වීමක්, මරණයක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහාතැබීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ශෝක කිරීම නම් කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුට යම් ශෝකයක්, තැවීමක්, තැවීම් ඇතිබවක්, ඇතුළත තැවීමක්, ඇතුළත අතිශයින් තැවීමක් වේද, ඇවැත්නි, මේ ශෝකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, වැළපීම කවරේද, ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුගේ එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුගේ යම් ආදෙවයක්, පරිදෙවයක්, හැඬීමක්, වැළපීමක්, හැඬීම ඇතිබවක්, වැළපෙන ස්වභාවයක් වේද, ඇවැත්නි, මේ වැළපීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක නම් කවරේද? ඇවැත්නි, යම් කයෙහි හටගන්නාවූ දුකක්, කයෙහි හටගන්නාවූ නොසැපයක්, කයේ වැදීමෙන් හටගන්නාවූ දුකක් නොසැපයක්, විඳ ගැනීමක් වේද, ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දොම්නස කවරේද? ඇවැත්නි, යම් සිතෙහි හටගන්නාවූ දුකක් වේද, සිතෙහි හටගන්නාවූ නොසැපවූ විඳ ගැනීමක් වේද, මනො සම්ඵස්සයෙන් හට ගන්නාවූ දුකක් නොසැපවූවක් විඳගැනීමක් වේද, ඇවැත්නි, මෙය දොම්නසයයි කියනු ලැබේ.