3. 4. 12.
දක්ඛිණාවිභඞ්ග සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි මහා ප්රජාපතී ගෞතමී තොමෝ අළුත්වූ වස්ත්ර දෙකක් ගෙණ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියාය. එළඹ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නීය. එකත්පසක හුන්නාවූ මහාප්රජාපතී ගෞතමී තොමෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළාය.
“ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්ර යුවළ භාග්යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. මෙසේ කීකල්හි භාග්යවතුන් වහන්සේ මහාප්රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව. තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමි, සංඝයාද (පුදනලද්දේ) වන්නේය යනුයි. දෙවනුවද මහා ප්රජාපතී ගෞතමී තොමෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත් වස්ත්ර යුවළ භාග්යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටිනලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. දෙවනුවද භාග්යවතුන් වහන්සේ මහාප්රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදනලද්දේ වන්නෙමියි, සංඝ තෙමේද පුදනලද්දේ වන්නේය” යනුයි. තුන්වෙනුවද මහා ප්රජාපතී ගෞතමී තොමෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළාය. “ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්ර යුවළ භාග්යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියනලදී. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි. තුන්වෙනුවද භාග්යවතුන් වහන්සේ මහා ප්රජාපතී ගෞතමියට මෙය වදාළේය. “ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දුන් කල්හි මමද පුදනලද්දේ වන්නෙමි, සංඝ තෙමේද පුදන ලද්දේ වන්නේයයි.”
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මහාප්රජාපතී ගෞතමියගේ අළුත්වූ වස්ත්ර යුවළ පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මහාප්රජාපතී ගෞතමී තොමෝ භාග්යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය. අත් පා වැඩූ තැනැත්තීය, පොෂණය කළ තැනැත්තීය, කිරි දුන් තැනැත්තීය. භාග්යවතුන් වහන්සේට වැදූ මව කළුරිය කල කල්හි කිරි පෙව්වාය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේද මහාප්රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නිසා මහාප්රජාපතී ගෞතමී තොමෝ බුදුන් සරණ කොට ගියාය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නිසා මහා ප්රජාපතී ගෞතමී තොමෝ සතුන් මැරීමෙන් වැළකුනීය, සොරකම් කිරීමෙන් වැළකුනීය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීය, බොරු කීමෙන් වැළකුනීය, රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නිසා මහාප්රජාපතී ගෞතමී තොමෝ බුදුන් කෙරෙහි අචලවූ ප්රසාදයෙන් යුක්තවූවාය. ධර්මය කෙරෙහි අචලවූ ප්රසාදයෙන් යුක්තවූවාය. සංඝයා කෙරෙහි අචලවූ ප්රසාදයෙන් යුක්ත වූවාය. ආර්ය්යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නිසා මහාප්රජාපතී ගෞතමී තොමෝ දුක්ඛ සත්යයෙහි සැක නැති වූවාය. දුක්ඛ සමුදය සත්යයෙහි සැකනැති වූවාය. දුක්ඛ නිරෝධ සත්යයෙහි සැක නැති වූවාය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්යයෙහි සැක නැති වූවාය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේද මහා ප්රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇති සේකැයි,” (සැලකෙළේය.)
“ආනන්දය, එය එසේය, ආනන්දය, එය එසේය. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ආනන්දය, මේ ආචාර්ය්යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්රතිඋපකාර කළ නොහැක්කේයයි, කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් දීමෙනි.
ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, මදයට හා ප්රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනේ වේද, ආනන්දය, මේ ආර්ය්යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්රත්යුපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියයි කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකර දීමෙනි.
ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි, අචල ප්රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූයේ වේද, ආර්ය්යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද, ආනන්දය, මේ ආචාර්ය්යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්රත්යුපකාර කළ නොහැකි යයි කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි.
ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ සමුදය සත්යයෙහි සැක නැත්තේ වේද, දුක්ඛ නිරෝධ සත්යයෙහි සැක නැත්තේ වේද, දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්යයෙහි සැක නැත්තේ වේද, ආනන්දය, මේ ආචාර්ය්යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්රත්යුපකාර කළ නොහැකියයි කියමි. එනම්, වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි කිරීම, ගරුබුහුමන් කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම යන මෙයිනි.
“ආනන්දය, පුද්ගලික දාන මේ දහතරක් වෙත්. අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන් වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමි ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයෙකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයෙකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දහහතර වන පුද්ගලික දානයයි.