3. 3. 9.
බාල පණ්ඩිත සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ, බාල නිමිති, බාල චරිත තුනකි. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බාලතෙම නපුරුකොට සිතන්නේත් වෙයි. නපුරුකොට කියන්නේත් වෙයි. නපුරුකොට කරන්නේත් වෙයි. මහණෙනි, ඉදින් බාලතෙම නපුරුකොට නොසිතන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකරන්නේ නම් කුමකින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් බාලතෙම නපුරුකොට සිතන්නේද, නපුරුකොට කියන්නේද, නපුරුකොට කරන්නේද, එහෙයින් ඔහු මේ භවත් අසත් පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගනිත්.
මහණෙනි, ඒ මේ බාලයා මේ ආත්මභාවයෙහි තෙවැදෑරුම්වූ, දුක් දොම්නසක් විඳී. මහණෙනි, ඉදින් ඒ බාලයා සභාවක හෝ හුන්නේ වේද, වීථියෙක හෝ හුන්නේ වේද, සතර මංසන්ධියෙක හෝ හුන්නේවේද, එහි ජනයා ඒ වැරදිවලට සුදුසු, ඒ වැරදිවලට ගැලපෙන කථා කරත්ද, මහණෙනි, ඉදින් බාලතෙම ප්රාණඝාත කරන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, ප්රමාදයට කරුණුවූ මත්පැන් බොන්නේ වේද, මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි: ‘ජනයා යම් හෙයකින් ඒ වැරදිවලට සුදුසු, ඒ වැරදිවලට ගැලපෙන කථා කෙරෙයිද, ඒ වරද ස්වභාවයෝ මා තුළ ඇත්තාහුය. මමද ඒ ධර්මයන් දක්නා ලැබෙමි’ කියායි. මහණෙනි, බාල තෙම ඉහාත්මභාවයෙහි මේ පළමු දුක දොම්නස විඳී.
මහණෙනි, නැවතද අනෙකක් කියමි. රජුන් විසින් අපරාධකාරී සොරකු අල්වා, නන් වැදෑරුම් කම්කටුලු කරවනු බාලතෙම දකී: කසවලින් තළවනු ලබන්නවුන්ද, වේවැල් වලින් තලවනු ලබන්නවුන්ද, අඩදණ්ඩෙන් තළනු ලබන්නවුන්ද, අත කපනු ලබන්නවුන්ද, පා කපනු ලබන්නවුන්ද, අත් පා දෙකම කපනු ලබන්නවුන්ද, කණ කපනු ලබන්නවුන්ද, නාසය කපනු ලබන්නවුන්ද, කන් නාසා දෙකම කපනු ලබන්නවුන්ද, “බිලංගථාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “සංඛමුණ්ඩික” නම් කර්මය කරන්නවුන්ද, “රාහුමුඛ” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ජෝතිමාලික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “හත්ථපජ්ජොතික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒරකවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “චීරකවාසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඒණෙය්යක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “බලිසමංසික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “කහාපණක” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “ඛාරාපතච්ඡික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “පලිඝපරිවත්තික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, “පලාලපිට්ඨික” නම් කර්මය කරනු ලබන්නවුන්ද, උණුකරනලද තෙල් ඉසිනු ලබන්නවුන්ද, බඩගින්නෙන් පීඩිත සුනඛයන් ලවා කවන්නවුන්ද, පණපිටින් හුල හිඳුවනු ලබන්නවුන්ද, කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ද (දකී). මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි: ‘යම්බඳු පාප කර්මයන් හේතුකොටගෙන රජවරු අපරාධකාරී සොරකු
අල්වාගෙන නන්වැදෑරුම් කම්කටුලු කරවත්ද, එනම්: කසවලින් තළවත්ද, වේවැල්වලින් තළවත්ද, අඩදඬු වලින් තළවත්ද, අත කපත්ද, පා කපත්ද, අත් පා දෙකම කපත්ද, කණ කපත්ද, නාසය කපත්ද, කන් නාසා දෙකම කපත්ද, බිලංගථාලික නම් කර්මය කරත්ද, සංඛමුණ්ඩික නම් කර්මය කරත්ද, රාහුමුඛ නම් කර්මය කරත්ද, ජෝතිමාලික නම් කර්මය කරත්ද, හත්ථපජ්ජෝතක නම් කර්මය කරත්ද, එරකවත්තික කර්මය කරත්ද, චීරකවාසික කර්මය කරත්ද, ඒණෙය්යක කර්මය කරත්ද බලිසමංසික කර්මය කරත්ද, කහාපණක කර්මය කරත්ද, ඛාරාපතච්ඡීක කර්මය කරත්ද, පලිඝපරිවත්තික කර්මය කරත්ද, පලාලපිට්ඨික කර්මය කරත්ද, රත්වූ තෙල් ඉසිත්ද, බඩසයින් පීඩිත සුනඛයන්ලවා කවත්ද, ජීවත්වසිටියදීම හුල හිඳුවත්ද, කඩුවෙන් හිස සිඳිත්ද, ඒ පාපධර්ම මා කෙරෙහිද ඇත්තාහුය. මමද ඒ ධර්මයන්හි දක්නා ලැබෙමි. ‘රජවරු මාද දන්නහු නම්, රජවරු මාත් අල්වාගෙණ, නානා ප්රකාර කම්කටුලු කරවන්නහුය: කසවලින් තළවන්නාහුය, වේවැල්වලින් තළවන්නාහුය, අඩදඬු වලින් තළවන්නාහුය, අතද කප්පවන්නාහුය, පයද කප්පවන්නාහුය, අත් පා දෙකම කප්පවන්නාහුය, කණද කප්පවන්නාහුය, නාසයද කප්පවන්නාහුය, කන් නාසා දෙකම කප්පවන්නාහුය, බිලංගථාලික කර්මය කරවන්නාහුය, සංඛමුණ්ඩික කර්මය කරවන්නාහුය, රාහුමුඛ නම් කර්මය කරවන්නාහුය, ජෝතිමාලික නම් කර්මය කරවන්නාහුය, හත්ථපජ්ජොතික නම් කර්මය කරවන්නාහුය, ඒරකවත්තික නම් කර්මය කර වන්නාහුය, ඒණෙය්යක නම් කර්මය කරවන්නාහුය, බලිසමංසික නම් කර්මය කරවන්නාහුය, කහාපණක නම් කර්මය කරවන්නාහුය, ඛාරාපතච්ඡික නම් කර්මය කරවන්නාහුය, පලිඝපරිවත්තික නම් කර්මය කරවන්නාහුය, පලාලපිට්ඨික නම් කර්මය කරවන්නාහුය, රත්වූ තෙල් ඉස්වන්නාහුය, බඩසයින් පීඩිත සුනඛයින් ලවා කවන්නාහුය, ජීවත්වත්ම හුල හිඳුවන්නාහුය, කඩුවෙන් හිස කප්පවන්නාහුය.’ මහණෙනි, බාලතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි දුක් දොම්නසද විඳියි.
මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවක හිඳගත්තාවූ හෝ ඇඳක නිදාගත්තාවූ හෝ බිම නිදන්නාවූ හෝ බාලයා වෙත ඔහු විසින් පෙර කයින් නපුරුකොට කරණ ලද්දාවූද වචනයෙන් නපුරුකොට කියන ලද්දාවූද, සිතින් නපුරුකොට සිතන ලද්දාවූද, යම් ලාමක අකුසල ධර්මයෝ වෙත්ද, ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, යම්සේ මහත් පර්වත කූටයන්ගේ සෙවණ සවස් කාලයෙහි පොළොවෙහි පැතිර පවතීද, අධිකව පැතිර පවතීද, විශේෂයෙන් පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම පුටුවෙහි හුන්, ඇඳෙහි සයනය කළ, බිම හෝනා, මේ බාලයා විසින් පූර්වයෙහි යම් කායික දුශ්චරිත, වාක් දුශ්චරිත, මනෝ දුශ්චරිත කරණ ලද්දාහුද, ඔහු වෙත ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි: ‘මා විසින් යහපතක් නොකරණලදී. කුසලයක් නොකරණලදී. භය දුරු කරන්නක් නොකරණලදී. පාපයක් කරණලදී. රෞද්රකම් කරණලදී. නරකක් කරණලදී. නොකරණලද යහපත්කම් ඇති, නොකරණලද කුසල් ඇති, නොකරණලද භය දුරු කිරීමක් ඇති, කළ පව් ඇති, කළ රෞද්රකම් ඇති, කළ නරකකම් ඇති අයගේ යම් ගතියක් වේද, පරලොවදී ඒ ගතියට යමියි’. හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළෙහි අත්ගසා හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ තුන්වන දුක් දොම්නස විඳියි.