3. 3. 10.
දෙවදූත සුත්තං
261. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි, භික්ෂූන්ට ආමන්ත්රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැයි’ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියාවූද, කර්මයවූ පරිදි පැමිණියාවූ සත්වයන් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්ය්යයන්ට පරිභව නොකළාහුය. සම්යක් දෘෂ්ටි වූවාහුය. සම්යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්ය්යයන්හට පරිභව නොකරන්නාහුය. සම්යක් දෘෂ්ටික වූවාහුය. සම්යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුන් අතර උපන්නාහුය.”
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්ය්යයන්හට පරිභව කරන්නාහුය. මිථ්යා දෘෂ්ටික වූවාහුය. මිථ්යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු ප්රේත විෂයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්ය්යයන්හට පරිභව කරන්නාහුය. මිථ්යා දෘෂ්ටි වූවාහුය. මිථ්යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්ය්යයන්හට පරිභව කරන්නාහුය. මිථ්යා දෘෂ්ටික වූවාහුය. මිථ්යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.”
262. “මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ යමරජුට දක්වති. ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්රහ නොකරන්නෙක. උතුමන් නොහඳුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක. දේවයන් වහන්ස, මොහුට දඬුවම් පමුණුවන සේක්වා’යි කියති.”
“මහණෙනි, එකල්හි යමරජ තෙම ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන විමසයි, ප්රශ්න කරයි, අසයි: ‘එම්බා පුරුෂය, මිනිසුන් අතර පහළ වූ පළමුවෙනි දේවදූතයා නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, නුදුටුවෙමි’යි කියයි. මහණෙනි, එකල්හි යමරජ තෙම මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතර ළදරුවෙකු නුදුටුවෙහිද?’ හෙතෙම ‘ස්වාමීනි, දුටුවෙමීයි’ කියයි. ‘මහණෙනි, යම රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවීද? මමත් ජාතිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවීද?’ හෙතෙම ‘ස්වාමීනි, කුසල් කරන්නට නොහැකිවීමි. වහන්ස, පමාවූයෙමියි’ කියයි. ඔහුට යම රජතෙම ‘එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමාවූවහුට යම්සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැඟනිය විසින් නොකරණ ලද්දේය. යහළු මිත්රයන් විසින් නොකරණ ලද්දේය. සහලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාප කර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයට විපාකය තෝම විඳින් නෙහියයි කියන්නේය.”
263. “මහණෙනි, යමරජතෙම මේ පළමුවෙනි දේවදූතයා දක්වා කරුණු සහිතව පිළිගන්වා තර්ජනය කොට දෙවැනි දේවදූතයා ගැන විමසයි, ප්රශ්න කරයි, අසයි: ‘එම්බා පුරුෂය, මනුෂ්යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දූතයා තෝ නුදුටුවෙහිද?” හෙතෙම ‘ස්වාමීනි, නුදුටිමියි’ කියන්නේය. ඔහුට යමරජතෙම ‘එම්බා පුරුෂය, තෝ මනුෂ්යයන් අතරෙහි උත්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනූ වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියාවූ හෝ ජරාජීර්ණවූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනු සැරයටිය පිහිට කොට ඇති, වෙවුලමින් හැසිරෙන්නාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණකම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලීගිය හිසකෙහෙ ඇති, බොහෝසේ ඉගිලීගිය හිසකෙහෙ ඇති, රැළිනැඟුණ සම ඇති, තල කැලලින් යුත් සිරුරැති, ස්ත්රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද?’ හෙතෙම, ‘ස්වාමීනි, දුටුවෙමියි, කියයි.’ “මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවීද?’ හෙතෙම ස්වාමීනි, ‘කුසල් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමියි’ කියන්නේය. මහණෙනි, යමරජ තෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසල් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, යම්සේ පමාවූවහුට යම්සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ මේ පාපකර්මය මව විසින් නොකරණලදී. පියා විසින් නොකරණලදී. සහෝදරයා විසින් නොකරණලදී. නැගණිය විසින් නොකරණ ලදී. යහළු මිත්රයන් විසින් නොකරණ ලදී. සහ ලේ නෑයන් විසින් නොකරණලදී. මහණ බමුණන් විසින් නොකරණලදී. දෙවියන් විසින් නොකරණලදී. මේ පාප කර්මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විඳිනෙහිය.’