3. 3. 8.
උපක්කිලෙස සුත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරන සේක. එසමයෙහි වනාහි කොසඹෑ නුවර භික්ෂූහු දබර කරගනිමින්, කලහ කරගනිමින්, විවාද කරගනිමින්, ඔවුනොවුන්ට මුව සැතින් (වචන නමැති හුල්වලින්) ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: ‘ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්ෂූහු දබර කරගනිමින්, කලහ කරගනිමින්, විවාද කරගනිමින්, ඔවුනොවුන්ට මුව සැතින් ඇනගනිමින් වාසය කරති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා ඒ භික්ෂූන් වෙත වැඩමවන සේක් නම් මැනවි’. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය ඉවසා වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් යම් තැනකද එතැනට වැඩම කළ සේක. වැඩම කොට ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක: ‘අලම් (කම් නැත) මහණෙනි, දබර නොකරව්, කලහ නොකරව්, විග්‍රහ (කෝලාහල) නොකරව්, විවාද නොකරව්’.
මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: ‘ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ (පසෙකට වී) ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිතව දිට්ඨධම්මසුඛවිහාරයෙන් (වර්තමාන සැප විහරණයෙන්) යුක්තව වාසය කරන සේක්වා. අපි මේ දබරයෙන්, කලහයෙන්, විග්‍රහයෙන්, විවාදයෙන් ප්‍රකට වන්නෙමු’.
දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක: ‘අලම් මහණෙනි, දබර නොකරව්, කලහ නොකරව්, විග්‍රහ නොකරව්, විවාද නොකරව්’.
දෙවනුවත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: ‘ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිතව දිට්ඨධම්මසුඛවිහාරයෙන් යුක්තව වාසය කරන සේක්වා. අපි මේ දබරයෙන්, කලහයෙන්, විග්‍රහයෙන්, විවාදයෙන් ප්‍රකට වන්නෙමු’.
තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක: ‘අලම් මහණෙනි, දබර නොකරව්, කලහ නොකරව්, විග්‍රහ නොකරව්, විවාද නොකරව්’.
තෙවනුවත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: ‘ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිතව දිට්ඨධම්මසුඛවිහාරයෙන් යුක්තව වාසය කරන සේක්වා. අපි මේ දබරයෙන්, කලහයෙන්, විග්‍රහයෙන්, විවාදයෙන් ප්‍රකට වන්නෙමු’.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ, සෙනසුන තැන්පත් කොට තබා, පාසිවුරු ගෙන සිටගෙනම මේ ගාථාවන් වදාළ සේක:
මහත් ශබ්ද ඇති ඒකාබද්ධ ජනකාය තෙම (තමා) බාලයෙකැයි කිසිවෙක් නොසිතයි. සංඝයා බිඳෙන කල්හිත් අන්‍යයෙක් (මම බාලයෙකැයි) වැඩිපුර නොසිතයි.
සිහිය මුළාවූ, පණ්ඩිතමානී වූ, වචනයම ගොදුරු කොට දොඩවන, යම්තාක් මුව විවර කරනු රිසිද (ඒ තාක් දොඩවන), යම් තැනකින් (ක්ලේශයන් වෙත) ගෙන යන ලද්දාහුද එය නොදනිත්.
මට බැන්නේය, මට ගැසුවේය, මා දිනුවේය (පැරදවූයේය), මා සතු දෙය පැහැර ගත්තේය යැයි යම් කෙනෙක් එය සිතේ බැඳගනිත්ද, ඔවුන්ගේ වෛරය නොසංසිඳෙයි.
මට බැන්නේය, මට ගැසුවේය, මා දිනුවේය, මා සතු දෙය පැහැර ගත්තේය යැයි යම් කෙනෙක් එය සිතේ බැඳ නොගනිත්ද, ඔවුන්ගේ වෛරය සංසිඳෙයි.
මේ ලෝකයෙහි කිසිකලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසංසිඳෙති. වෛර නොකිරීමෙන්ම සංසිඳෙත්. මෙය සනාතන ධර්මයයි.
අනුන් (නුවණැත්තන්ගෙන් අන්‍යවූ බාලයෝ) ‘අපි මෙහි (කලහ කිරීමෙන්) වැනසෙමු’යි නොදනිති. යමෙක් එහිලා (එම දෝෂය) දනිත් නම්, එයින් කලහයෝ සංසිඳෙති.
ඇට බිඳින්නාවූ, ප්‍රාණය නසන්නාවූ, ගව අශ්ව ධනය පැහැර ගන්නාවූ, රට කොල්ලකන්නාවූ සොරුන්ගේ පවා (එක්වීමක්) සමගියක් වේ. තොපගේ (සමගියක්) කුමක් හෙයින් නොවේද?
ඉදින් නුවණැති, එක්ව හැසිරෙන, යහපත් විහරණ ඇති, ධීර වූ සහායයකු ලබන්නේ නම්, සියලු උවදුරු මැඩපවත්වා, සතුටු සිතින් සිහියෙන් යුතුව ඔහු හා හැසිරෙන්නේය.
ඉදින් නුවණැති, එක්ව හැසිරෙන, යහපත් විහරණ ඇති, ධීර වූ සහායයකු නොලබන්නේ නම්, දිනූ රට හැරයන රජෙකු මෙන්ද, වනයෙහි ඇතා මෙන්ද හුදෙකලාව හැසිරෙන්නේය.
හුදෙකලාව හැසිරීම උතුම ය. බාලයා හා මිත්‍රත්වයක් නැත. වනයෙහි මාතංග නම් ඇතා මෙන් තනිව හැසිරෙන්නේය. පව් නොකරන්නේය. උත්සාහ රහිත වන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිටගෙනම මේ ගාථා වදාරා බාලකලෝණකාර ගම යම් තැනකද එතැනට වැඩි සේක. එසමයෙහි ආයුෂ්මත් භගු තෙරණුවෝ බාලකලෝණකාර ගමෙහි වාසය කරති. ආයුෂ්මත් භගු තෙරණුවෝ දුරදීම වඩින භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක ආසනයක් පැනවූහ; පා දෝනා දිය තැබූහ. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා දෙපා සේදූ සේක. ආයුෂ්මත් භගු තෙරණුවෝද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණ, කෙසේද ඉවසිය හැකිද? කෙසේද යැපිය හැකිද? පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවෙහිද?