3. 3. 7.
අනුරුද්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරමෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ‘පඤ්චකංග’ නම් වඩුතෙම එක්තරා පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එහි යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ‘ස්වාමීනි, ‘පඤ්චකංග’ වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පා සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග නම් වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසනසේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනවි. පඤ්චකංග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ වැඩ ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි.
පුරුෂතෙම “ස්වාමීනි, එසේයයි” කියා පඤ්චකංග වඩුවාට උත්තර දී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ඒ පුරුෂතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේට මෙය සැල කළේය. “ස්වාමීනි, පඤ්චකංග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳී. මෙසේත් කියයි “ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසනසේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනව. ස්වාමීනි, පඤ්චකංග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ කෘත්‍ය ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසුවේය. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන පඤ්චකංග වඩුවාගේ ගෙය යම් තැනකද එහි ගියේය. ගොස්, පනවන ලද අසුනෙහි හුන්නේය. ඉක්බිති පඤ්චකංග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ප්‍රණීත ඛාද්‍ය භොද්‍යයෙන් සියතින් වැළඳවීය. ඇතිතාක් වැළඳවීය. ඉක්බිති පඤ්චකංග වඩුතෙම වළඳා අවසන්හි, වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වෙත එක්තරා පහත් ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් පඤ්චකංග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂූහු මවෙත එළඹ මෙසේ කීවාහුය. ‘ගෘහපතිය, අප්‍රමාණ සමාධිය වඩවයි කියා’යි. ‘ස්වාමීනි, ඇතැම් ස්ථවිර භික්ෂූහු පැමිණ ‘ගෘහපතිය, මහග්ගත සමාධිය වඩවයි, කීවාහුය. ස්වාමීනි, යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මේ මහග්ගත සමාධියක් වේද, මේ ධර්ම වෙනස් වෙනස් අර්ථ ඇත්තාහුද, වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් සමාන අර්ථ ඇත්තාහුද, ව්‍යංජනයෙන් පමණක් වෙනස්ද?”
“ගෘහපතිය, එසේවී නම් ඇතැම් තෙරුන් වහන්සේලා අප්‍රමාණ සමාධිය වඩවයි කීවාහුද, ඇතැම් තෙරුන් වහන්සේලා මහග්ගත සමාධිය වඩවයි කීවාහුද මෙහිදී මෙයින් තොපට විරුද්ධයක් නොවනසේ තොපටම වැටහේවා.”
“ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මේ මහග්ගත සමාධියක් වේද, මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහුය. ව්‍යංජන පමණක් වෙනස්ය කියායි.”
“ගෘහපතිය, යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මහග්ගත චිත්ත සමාධියක් වේද, මේ ධර්ම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යංජන වශයෙන්ද වෙනස්ය. ගෘහපතිය, එය යම්සේ මේ ධර්ම අර්ථ වශයෙන් වෙනස් ද, ව්‍යංජන වශයෙන් වෙනස්ද යනු මේ ක්‍රමයෙන් දතයුතුය.
“ගෘහපතිය, අප්‍රමාණ සමාධිය කවරේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසයකෙරෙයිද. එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සෑම තන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද “කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිශාවද, මෙසේ උඩ යට සරස සෑම තන්හි හැම තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද, “මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද, “උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද. ගෘහපතිය, මේ කියන ලද්ද අප්‍රමාණ සමාධියයි.
“ගෘහපතිය, මහග්ගත සමාධිය කවරේද? ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් රුක්මුලක් පමණ තැනක් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මේ මහග්ගත සමාධියයි කියනු ලැබේ. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ. ‘ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් ගමක් පමණ තැනක් කසිණ නිමිත්තෙන් යටකොට පතුරුවා වාසය කරයිද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ. “ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ. “ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් මහා රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනුලැබේ. ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් මහාරාජ්‍ය දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ. “ගෘහපතිය, මේ සස්නෙහි භික්ෂුතෙම යම්තාක් මුහුද කෙළවර කොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ. ගෘහපතිය, යම්සේ මේ ධර්මයෝ නානාර්ථද නානා ව්‍යඤ්ජනද එය මේ ආකාරයෙන් දතයුතුයි.
“ගෘහපතිය, මේ භවයන්හි ඉපදීම් සතරකි. ඒ සතර කවරහුද? ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් ස්වල්ප රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම කායයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි පරිත්තාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් අප්‍රමාණ රශ්මි ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අප්පමාණාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ සස්නෙහි ඇතැමෙක් අපිරිසිදු රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් පිරිසුදු රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ සතරක්වූ භවයන්හි ඉපදීම් වෙති.