3. 3. 6.
භූමිජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ උදයකාලයෙහි හැඳ පාත්‍රා සිව්රු ගෙන ජයසේන රාජකුමාරයාගේ ගෘහය යම්තැනකද එහි පැමිණියේය. පැමිණ පනවනලද ආසනයෙහි හිඳ ගත්තේය.
ඉක්බිති ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතු කථාකොට නිමවා එක්පසක හිඳ ගත්තේය. එක්පසක හිඳ ගත්තාවූ ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය. “පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙවැනි වාද ඇති මෙවැනි දෘෂ්ටි ඇති මහණ බමුණෝ ඇත්තාහ. ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ නම් එසේත් ඵලයට නොපැමිණිය හැකිය. ඉදින් අකමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද අකමැත්තෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය යන, (වාදයෝයි.) “මේ කාරණයෙහි පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කුමක් කියන්නෙක්ද?”
“රාජකුමාරය, මා විසින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇත. ‘ඉදින් කැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුත් නොකැමැත්තෙන් නොවීමෙනුත් නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය.’ ‘ඉදින් කැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමත්තෙනුදු නොකැමැත්තෙන් නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය යනුවෙනි. “රාජකුමාරය, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් උන්වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනා කිරීමට කරුණු ඇත්තේයයි කීය.
“ඉදින් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ මෙවැනි වාද ඇත්තෙක් මෙසේ කියන්නෙක් වෙයි නම් ඒකාන්තයෙන් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘතෙමේ බොහෝවූ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මුදුනෙහි සිටින්නෙකැයි කියා ජයසේන රාජකුමාර තෙමේ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් තමාට පිළියෙල කළ බතින් වැළඳවීය.
“ඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථවිරතෙමේ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හිඳ ගත්තේය. පසක හිඳගත් ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය. “ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරුගෙන ජයසේන රාජකුමාරයාගේ ගෘහය යම් තැනකද එහි ගියෙමි. ගොස් පැනවූ ආසනයෙහි හිඳ ගතිමි. ස්වාමීනි, ඉක්බිති ජයසේන රාජකුමාරතෙම මම යම් තැනකද එහි පැමිණියේය. පැමිණ මා සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා එක් පසක හිඳගත්තේය. එක් පසක හිඳගත් හෙතෙමේ මට මෙසේ කීය. “පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. කෙසේද? ‘ඉදින් කැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය. ඉදින් නොකැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය’ යනුය. මේ කාරණයෙහි ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘතෙම කිනම් වාද ඇත්තෙක්ද? කුමක් කියන්නෙක්ද? යනුය.”
“ස්වාමීනි, මෙසේ කියන ලද කල්හි, මම ජයසේන රාජ කුමාරයාට මෙසේ කීයෙමි. “රාජ කුමාරය, මා විසින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහිලා මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇත්තේය. කෙසේද? ‘ඉදින් කැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ‘ඉදින් කැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයිනම් පලක් ලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය යනුවෙනි. “ස්වාමීනි, මෙසේ කීකල්හි මම ජයසේන රාජකුමාරයාට මෙසේ කීයෙමි. “මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇතැයි” කීයෙමි. එකල්හි ජයසේන රාජ කුමාර තෙමේ “ඉදින් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ මෙවැනි වාද ඇත්තෙක් මෙසේ කියන්නෙක් නම් පින්වත් භුමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙම බොහෝවූ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මුදුනෙහි සිටියේයයි කීයේය.
“ස්වාමීනි, කිමෙක්ද මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කළාවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෙක් වෙමිද භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියන්නෙක් වෙමිද ධර්මයට අනුකූලව ප්‍රකාශ කෙරෙම්ද කිසි කරුණු සහිතවූ වාදයකින් හෝ අනුවාදයකින්, හෝ ගැරහිය යුතු බවට නොපැමිණේද?”
“භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ අසන ලදුව මෙසේ ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක්ම කියන්නෙක් වූවහුය. භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියන්නෙක් නොවූවහුය. ධර්මයට අනුකූලවූවක්ම ප්‍රකාශ කළාහුය. කිසි කරුණු සහිත වාදයකින් හෝ අනුවාදයකින් ගැරහිය යුතු බව නොපැමිණෙන්නේය.
“භූමිජය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, මිථ්‍යාකල්පනා ඇත්තාවූ මිථ්‍යා කර්මාන්ත ඇත්තාවූ මිථ්‍යා වචන ඇත්තාවූ මිථ්‍යා ජීවිකා ඇත්තාවූ මිථ්‍යා ව්‍යායාම ඇත්තාවූ මිථ්‍යා සති ඇත්තාවූ මිථ්‍යා සමාධි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔව්හු ඉදින් කැමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලබනු නොහැකිය ඉදින් අකමැත්තෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙනුදු අකමැත්තෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් අකමැත්තෙනුදු අකමැති නොවීමෙනුදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලබනු නොහැකිය.”