3. 3. 5.
දන්තභූමි සුත්තං
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාපනම්වූ වේලුවනාරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි ‘අචිරවත’ නම් සාමණේර තෙම අරඤ්ඤකුටිකා නම් සෙනසුනෙහි වෙසෙයි. එකල්හි ජයසේන නම් රාජ කුමාර තෙම සක්මන් කිරීම සඳහා ඇවිදින ගමන් අචිරවත සාමණේර තෙමේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ අචිරවත සාමණේරයන් හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණේරයන්ට මෙය කීය: ‘පින්වත් අග්ගිවෙස්සනය, මේ සස්නෙහි භික්ෂුතෙම අප්රමාදව කෙළෙස් තවන වීර්ය්ය ඇතිව කාය ජීවිත පරිත්යාගයෙන් යුක්තව වාසය කරමින් ධ්යාන සමාපත්ති ලබන්නේය”, යන මෙය මා විසින් අසනලදී.
“එසෙය, රාජකුමාරය, එසේය, රාජකුමාරය, මේ ශාසනයෙහි භික්ෂුතෙම අප්රමාදව කාය ජීවිත පරිත්යාගයෙන් යුක්තව වාසය කරන්නේ ධ්යාන සමාපත්ති ලබන්නේයයි” කීය.
“පින්වත් අග්ගිවෙස්සනතෙම ඇසූ පරිදි, උගත් පරිදි, ඒ ධර්මය දේශනා කරන්නේ නම් මැනවැයි” කීය.
“රාජකුමාරය, නුඹට ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දේශනා කරන්නට නොහැකිවෙමි. රාජකුමාරය, මම දැන් ඇසූ පරිදි, උගත් පරිදිත ධර්මය දෙසන්නෙම් නම් නුඹද මගේ දේශනාවේ අර්ථය දැන නොගන්නෙහි නම් එය මට ක්ලාන්ත බවක් වන්නේය. එය මට වෙහෙසක් වන්නේය.”
“පින්වත් අග්ගිවෙස්සනතෙම අසනලද පරිදි, උගත් පරිදි, මට ඒ ධර්මය දේශනා කළ මැනව. මම පින්වත් අග්ගිවෙස්සනගේ දේශනාවේ අර්ථය ඒකාන්තයෙන් දැන ගන්නෙමියි කීය.”
“රාජකුමාරය, නුඹට මම ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දේශනා කරන්නෙමි. ඉදින් නුඹ දේශනාවේ අර්ථය දැනගන්නෙහි නම් එය යහපති. නුඹ මාගේ දේශනාවේ අර්ථය දැන නොගන්නෙහි නම් නොදන්නාකමෙහිම සිටිය යුතුය. එහිදී මාගෙන් මත්තෙහි නැවත නො අසව.”
“පින්වත් අග්ගිවෙස්සනතෙම මට ඇසූසේ උගත්සේ ධර්මය දේශනා කෙරේවා. ඉදින් මම පින්වත් අග්ගිවෙස්සනගේ දේශනාවේ අර්ථය දැනගන්නෙම් නම් එය යහපති. ඉදින් මම පින්වත් අග්ගිවෙස්සනගේ දේශනාවේ අර්ථය නොදැනගන්නෙම් නම් නොදන්නා කමෙහිම සිටින්නෙමි. එහිදී මම පින්වත් අග්ගිවෙස්සනගෙන් මත්තෙහි නොඅසන්නෙමි.”
ඉක්බිති අචිරවත සාමණෙරතෙම ජයසේන රාජකුමාරයාහට ඇසූසේ උගත්සේ දහම් දෙසීය. එසේ දෙසූ කල්හි ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණේරයන්ට “පින්වත් අග්ගිවෙස්සනය, මහණතෙම අප්රමාද වූයේ කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ කාය ජීවිත පරිත්යාගයෙන් යුක්තව වාසය කරන්නේ ධ්යාන සමාපත්ති ලබන්නේය. යන යමක් වේ නම් එය නොවියහැක. වීමට අවකාශ නැතැයි’ කීය. ඉක්බිති ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණෙරයන්ට එය නොවියහැකි බවත් ඊට අවකාශ නැති බවත් දන්වා හුනස්නෙන් නැගිට ගියේය.
ඉක්බිති අචිරවත සාමණෙරතෙම ජයසේන රාජකුමාරයා ගිය නොබෝ වේලාවකින් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් අචිරවත සාමණෙරතෙම ජයසේන රාජකුමාරයා සමග යම් පමණ කථාවක් වීනම් ඒ සියල්ල භාග්යවතුන් වහන්සේට සැල කළේය.
එසේ සැලකළ කල්හි භාග්යවතුන් වහන්සේ අචිරවත සාමණෙරයන්හට මෙය වදාළසේක: “අග්ගිවෙස්සනය, කාමයෙන් වෙන්ව දතයුතු කාමයෙන් වෙන්ව දැක්කයුතු කාමයෙන් වෙන්ව පැමිණිය යුතු කාමයෙන් වෙන්ව ප්රත්යක්ෂ කටයුතු යම් ඒ ධර්මයක් වේනම් ඒ ධර්මය කොයින් ලබන්නේද? කාමයෙහි ගැලී වාසය කරන්නාවූ කාමයන් පරිභොග කරන්නාවූ කාම විතර්කයන් විසින් කරනු ලබන්නාවූ කාම දාහයෙන් දැවෙන්නාවූ කාමයන් සෙවීමෙහි උත්සාහවත්වූ ජයසේන රාජකුමාරතෙම එය දැනගන්නේය, දක්නේය, ප්රත්යක්ෂ කරන්නේය යන මීට කරුණු ඇත්තේ නොවේ. අග්ගිවෙස්සනය, ඒ කුමකැයි සිතන්නෙහිද? හොඳට දැමුණු, හොඳට හික්මුනු, ඇත්නාම්බන් දෙදෙනෙක් හෝ අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, එසේම නොදැමුනු, නොහික්මුනු, ඇත්නාම්බන් දෙදෙනෙක් හෝ අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් හොඳහැටි දැමුනු, හොඳහැටි හික්මුනු, ඇත් නාම්බන් දෙදෙනම අශ්ව නාම්බන් දෙදෙනම ගොන් නාම්බන් දෙදෙනම හික්මුණවුන්ගේ ගමනින් යන්නාහුද, හික්මුණවුන් යන තැනට යන්නාහුද?”
“එසේය, ස්වාමීනි,”
“යම් ඒ නොදැමුණු නොහික්මුණු ඇත් නාම්බන් දෙදෙනෙක් හෝ අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, ඒ නොදැමුණාවූ නොහික්මුණාවූ ඔව්හු, ඒ දැමුණු හික්මුණු ඇතුන් දෙදෙන අශ්වයන් දෙදෙන ගොනුන් දෙදෙන මෙන් හික්මුණු ගමනින් යන්නාහුද? හික්මුණවුන් යන තැනට යන්නාහුද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“අග්ගිවෙස්සනය, එසේම යම් ධර්මයක් කාමයෙන් වෙන්ව දැනගත යුතුද, කාමයෙන් වෙන්ව දැක්ක යුතුද, කාමයෙන් වෙන්ව පැමිණිය යුතුද, කාමයෙන් වෙන්ව ප්රත්යක්ෂ කටයුතුද, ඒ ධර්මය කාමයෙහි ගැලී වාසය කරන්නාවූ කාමයන් අනුභව කරන්නාවූ කාම විතර්කයන් විසින් කරනු ලබන්නාවූ කාමදාහයෙන් දැවෙනු ලබන්නාවූ කාමයන් සෙවීමෙහි යෙදී වාසය කරන්නාවූ ජයසේන රාජකුමාරතෙම දැන ගන්නේය, දකින්නේය, ප්රත්යක්ෂ කරන්නේය යන මීට කරුණු නැත.”
“අග්ගිවෙස්සනය, යම්සේ ගමකට හෝ නියම් ගමකට නුදුරෙහි මහා පර්වතයක් වේද, යහලුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම අතින් අත ගැන්මෙන් ඒ පර්වතය යම් තැනකද, එහි පැමිණෙන්නාහුය. පැමිණ එක් යහලුවෙක් යට පර්වත පාදයෙහි සිටින්නේය. එක් යහලුවෙක් පර්වතය මුදුනට නගින්නේය. යට පර්වත පාදයෙහි සිටි යහලුවා පර්වත මුදුනෙහි සිටි යහලුවාට මෙසේ කියන්නේය. ‘යහලුව, නුඹ පර්වත මුදුනෙහි සිටියේ යම් කිසිවක් දක්නෙහිද?”