3. 3. 4.
බක්කුල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහ නුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ වෙලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ පැරණි ගිහි යහලුවෙක්වූ අචේල කාශ්‍යපතෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යපතෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් ගෙන් මෙසේ ඇසීය.
“ඇවැත්, බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?”
“ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.”
“ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කීවරක් මෙවුන්දම් සෙවුනා ලදද?”
“ඇවැත්, කාශ්‍යපය, මගෙන් ‘ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුළත, කී වරක් මෙවුන්දම් සෙවුනා ලදැයි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ‘ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැයි ඇසිය යුතුය.”
“ඇවැත්, බක්කුලය, මේ අසූ වයස් කාලය තුළ කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?”
“ඇවැත්, කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුළ කාම සංඥාව උපන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුළ කාම සංඥාවක් උපන් බවක් නොදනී නම් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක් විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.”
“යම් හෙයකින් අසූවයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුළ යම් ව්‍යාපාද සංඥාවක් විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්කයක් උපන් බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් කාම විතර්කයක් උපන් බවක් නොදනී නම් මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් උපන් බවක් නොදනිමි. යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් උපන් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වර්ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසුලු බවක් නොම දනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.” “යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.” “යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්මයෙහි යෙදුන බවක් නොම දනිමි” “යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්මයෙහි යෙදුනු බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.” “යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.’”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ‘කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියායි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් කිසිවෙක් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ගමෙහි හුන් බවක් නොදනී නම් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.” “යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම ස්ත්‍රියකට යටත්පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්ඛුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි. යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් භික්ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි. යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ පැවිදිව අසූ වයස්වද භික්ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි අපි දරමු.” “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛාමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.” “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.” “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මා විසින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.” “ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම (කෙනකුට) නිසදුන් දුන් බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනකුට) නිසදුන් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.” “ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයකු ලවා උපස්ථාන කරවාගත් බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් සාමණෙරයකු ලවා උපස්ථාන කරවාගත් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”