3. 3. 3.
අච්ඡරියබ්භුත සුත්තං
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. අතීතයෙහි පිරිනිවියාවූ සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් තථාගතයන් වහන්සේ දැනගත්සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍ය්‍යයද වෙත්. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි” කීහ.
ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව වනාහි නොනිමියේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනකද එහි පැමිණිසේක. පැමිණ, පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළසේක.
“මහණෙනි, මෙහි දැන් කිනම් කථාවකින් යුක්තවූවහුද? තොපගේ කවර නම් කථාවක් නොනිමියේදැ”යි ඇසූහ.
“ස්වාමීනි, මෙහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්වූ අපගේ මේ අතුරු කථාව විය. එනම්: ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. අතීතයේදී පිරිනිවියාවූ, සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇත්තාවූ, කෙළවර කළ කුශලාකුශල කර්ම වෘත්ත ඇත්තාවූ, විපාක වෘත්ත සංඛ්‍යාත සියලු දුක් ඉක්මවූ, බුදුවරයෝ වෙත්ද, උන්වහන්සේලා අප තථාගතයන් වහන්සේ දැනගත් සේක. (කෙසේද?) ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සාමධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි. ස්වාමීනි, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට “ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයෝ අද්භූතය, අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි’ කීහ, “ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව නොනිමියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක: “එසේනම් ආනන්දය, නුඹට මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෝ බෙහෙවින් වැටහෙත්වා.”
“භාග්‍යවතුන් වහන්ස, ‘ආනන්දය, බොධිසත්ව තෙමේ සිහි නුවණින් යෙදී තුසිත දෙවියන් කෙරෙහි උපන්නේය’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පිළිගන්නාලදී. ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත දෙව්ලොව උපන්නේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගන්නා ලදී: ‘ආනන්දය, බෝසත් තෙම සිහිනුවණින් යුක්තව තුසිත ලෝකයෙහි සිටියේය’ යනුයි. ස්වාමීනි, බෝසත් තෙම සිහිනුවණින් යුක්තව තුසිත ලෝකයෙහි සිටියේය යන යමක් වේද, මෙයද මම භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගන්නා ලදී. ‘ආනන්දය, බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය’යි කියායි. ස්වාමීනි, බෝසත්තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී. “ආනන්දය, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය” යනුයි. ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි,”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී. “ආනන්දය, බෝසත්තෙම යම්කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත් වූ, ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළවෙයි. යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු, අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි උපද සිටින තවත් සත්වයෝ ඇතැයි හැඳින ගනිත්. මේ දස දහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පාවෙයි, වෙවුලායයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා පහළ වෙයි” යනුයි. ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ යම් කලක තූසිත දෙව්ලොවින් චුතව, මවුකුස පිළිසිඳ ගත්තේද, එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි අප්‍රමාණ වූ, මහත්වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළ වෙයිද, නොවැසුණු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලෝකන්තරික නම් අපායක්වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ආලෝකයෙන් එළිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණවූ, උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි පහළවෙයිද, එහි යම් සත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ එළියෙන් ඔවුනොවුන් හැඳින ගනිත්. මෙහි උපන් තවත් සත්වයෝ වෙත්යයි කියායි. මේ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පාවෙයි. අතිශයින් කම්පාවෙයි. වෙවුලයි. මහත්වූ එළියක් දෙවියන්ගේ දේවානුභාවයන් ඉක්මවා ලෝකයෙහි පහළ වෙයි යන යමක්වේද, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී. “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුයි. ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ යම් කලක මවුකුසට බැසගත්තේ වේද, (එකල) ඒ බෝසතුන්ද බෝසත් මවද කිසියම් මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ නොපෙළාවායි, දෙවියන් සතර දෙනෙක් ඔහු රැකීම පිණිස සිව්දිග එළඹ සිටිති යන යමක් වේද, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි මම දරමි.”