3. 3. 2.
මහාසුඤ්ඤත සුත්තං
මා විසින් මෙසේ අසනලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩිසේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ “කාලඛෙමක” නම් ශාක්‍යයාගේ විහාරය යම්තැනකද, එහි දවල් කාලයෙහි විසීම පිණිස වැඩිසේක. ඒ කාලයෙහි “කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් වූහ. භාග්‍යවතුන් වහන්සේ කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් දුටහ. දැක, භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. “කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. එහි බොහෝ භික්ෂූහු වාසය කෙරෙත්ය’යි කියායි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග “ඝටා” නම් ශාක්‍යයාගේ විහාරයෙහි සිවුරු මැසීම කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟිට “ඝටා” නම් ශාක්‍යයාගේ විහාරය යම් තැනකද එහි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළසේක. “ආනන්දය, ‘කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. මෙහි බොහෝ භික්ෂුහු වාසය කරද්දැයි ඇසූහ.
“ස්වාමීනි, කාලඛේමක නම් ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. මෙහි බොහෝ භික්ෂූහු වාසය කරත්. ස්වාමීනි, අපගේ සිවුරු මසන කාලය වේයයි කීය.”
“ආනන්දය, බොහෝ දෙනා සමග එක්ව විසීමට සතුටු එක්ව විසීමට කැමති එක්ව විසීමෙහි යෙදුණු නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමට කැමති එක්ව විසීමට සතුටු මහණතෙමේ නොහොබනේය. බොහෝ දෙනා සමග එක්ව විසීමට සතුටු එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමෙහි යෙදුණු නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමෙහි කැමති මහණතෙමේ යම් ඒ කාමයෙන් නික්මීමේ සැපයක් වේද, කාමයෙන් වෙන්වීමේ සැපයක්වේද, රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නා සැපයක් වේද, මාර්ගාවබෝධය පිණිස පවත්නා සැපයක් වේද, ඒ සැපය කැමතිසේ ලබන්නෙක් නිදුකින් ලබන්නෙක් මහත්සේ ලබන්නෙක් වන්නේය යන මෙය සිදු වීමට කරුණු නැත. ආනන්දය, යම් ඒ භික්ෂුවක් හුදකලාවූයේ සමූහයාගෙන් වෙන්ව වාසය කෙරේද, ඒ භික්ෂුව විසින් මෙය කැමති වියයුතුයි. එනම් යම් ඒ කාමයෙන් හික්මීමේ සැපයක් වේද, කාමයෙන් වෙන්වීමේ සැපයක් වේද, රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නා සැපයක් වේද, මාර්ගාවබෝධය පිණිස පවත්නා සැපයක් වේද, ඒ සැපය කැමතිසේ ලබන්නෙක් නිදුකින් ලබන්නෙක් මහත්සේ ලබන්නෙක් වන්නේය යන මේ කරුණ සිදුවන්නේය.
ආනන්දය, ඒ භික්ෂුව ඒකාන්තයෙන් බොහෝදෙනා සමග එක්ව විසීමට කැමති වූයේ එක්ව විසීමෙහි ඇළුනේ එක්ව විසීමෙහි යෙදුනේ නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි කැමති වූයේ එක්ව විසීමෙහි ඇළුනේ එක්ව විසීමෙහි යෙදුනේ වේද, හෙතෙම මනාපවූ කලෙක කෙලෙසුන්ගෙන් මිදුනු රූපාරූපාවචර චිත්ත සමාධියට හෝ ක්ලේශයන්ගෙන් කුපිත කළ නොහැකි ඒකාන්තයෙන් ක්ලේශයන්ගෙන් මිදීමට හෝ පැමිණ වාසය කරන්නේය යන මීට කරුණු නැත. ආනන්දය, යම් ඒ භික්ෂුවක් හුදකලාව සමූහයාගෙන් වෙන්ව වාසය කෙරේ නම් ඔහු විසින් මෙය කැමති විය’ යුතුයි. එනම් මනාපවූ කලෙක කෙලෙසුන්ගෙන් මිදුනු රූපාරූපාවචර චිත්ත සමාධියට හෝ කෙලෙසුන්ගෙන් කුපිත කළ නොහැකි ඒකාන්තයෙන් කෙලෙසුන්ගෙන් මිදීමට හෝ පැමිණ වාසය කරන්නේය යන මීට කරුණු ඇත්තේය,
ආනන්දය, යම්කිසි රූපයක රාග වශයෙන් ඇළුනේද, යම් රූපයක වෙසෙසින් ඇළුනේද, ඒ රූපයාගේ නැති වීමෙන් වෙනස් වීමෙන් ශෝකය, වැළපීමය, දුක්ය, දොම්නස්ය දැඩි ආයාසය, යන මොව්හු නූපදින්නාහු නම් එබඳු එක් රූපයකුදු මම නොදක්නෙමි.
“ආනන්දය, රූපාදි සියලු නිමිති මෙනෙහි නොකරන්නාවූ සුඤ්ඤත ඵල සමාපත්ති (අර්හත් ඵල සමාපත්ති) අරමුණට පැමිණ වාසය කෙරේය යන යමක් වේ නම් ඒ මේ විහරණය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරණ ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේ කරා භික්ෂූහුද, භික්ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද, රජවරුද, රජමහඇමතිහුද, තීර්ථකයෝද, තීර්ථක ශ්‍රාවකයෝද, පැමිණෙන්නාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ ඒ පිරිස මැද සිටියේ නිර්වාණයට නැමුණු නිර්වාණයට අවනතවූ නිර්වාණයට බරවූ ක්ලේශයන්ගෙන් වෙන්වූ, හික්මීමෙහි ඇළුනු, සිතින් යුක්තව මුළුමනින් කෙලෙසුන්ට කරුණුවූ ධර්මයන්ගෙන් වෙන්ව පිරිස පිටත් කරන්නාවූ කථාවක්ම කරන්නේවෙයි. ආනන්දය, එහෙයින් මෙහිදී මහණතෙමේද සුඤ්ඤත ඵල සමාපත්ති අරමුණට පැමිණ වාසය කරන්නෙමියි කැමති වන්නේ නම් ආනන්දය, ඒ භික්ෂුව විසින් භාවනා රම්මණයෙහිම සිත මොනවට තැබිය යුතුයි. මොනවට පිහිටුවා ගත යුතුයි. එකඟකළ යුතුයි. එක අරමුණක පිහිටුවා ගත යුතුයි.
“ආනන්දය, භික්ෂුතෙම කෙසේ නම් සිත භාවනා අරමුණෙහිම තබාද? පිහිටුවයිද? එකඟ කරයිද? එක අරමුණක පිහිටුවයිද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාතුළ පැහැදීම ඇති කරන්නාවූ චිත්තයාගේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති, ද්වීතිය ධ්‍යානයට පැමිණ වාසයකරයිද, ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, නුවණ ඇත්තේ, සැපයද කයින් විඳියි. ඒ යම් ධ්‍යානයක් ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි වර්ණනා කරත්නම්, ඒ තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, “ආනන්දය, භික්ෂුතෙම මෙසේ භාවනාරම්මණයෙහි සිත තබයි, පිහිටුවයි, සමාධිය උපදවයි. හෙතෙම තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරන්නාවූ ඔහුට තමා පිළිබඳ සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. නොසිටී. මනාව නොපිහිටයි. ආනන්දය, එසේ ඇති කල්හි මහණ තෙමේ මෙසේ දැනගනියි, තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරණ මාගේ සිත තමා පිළිබඳ සූන්‍යතාවයේ නොබැසගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටායයි දැනගනී. මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ නොවන බවද දැනගනී. හෙතෙම අන්‍යයන්ගේ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරේ. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැස නොගනී. නොපහදී. නොසිටී. ස්ථීරව නොපිහිටයි.
“ආනන්දය, එසේ ඇතිකල්හි, මහණතෙම මෙසේ දැනගනී. ‘අරූපසමාපත්තිය මෙනෙහි කරන මාගේ සිත අරූප සමාපත්තියෙහි නොබැසගනී. ‘නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටයි, කියායි. මෙහි කර්මස්ථානය සම්පූර්ණ නොවන බව දැනගන්නේය. ආනන්දය, ඒ භික්ෂුව විසින් ඒ පළමු සමාධි නිමිත්තෙහි තම ස්කන්ධයන් පිළිබඳ සිත තැබිය යුතුයි, පිහිටුවාගත යුතුයි, එකඟ කළයුතුයි, සමාධිය ඉපදවිය යුතුයි. හෙතෙම තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වය මෙනෙහි කෙරෙයි. තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවයේ බැසගනී. පහදියි, ස්ථිරව සිටියි.