3. 3. 1.
චූළසුඤ්ඤත සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු පාසාද නම් ලත් පූර්වාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
“භාග්යවතුන් වහන්ස, එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයන්හි නාගරක නම් ශාක්යයන්ගේ නියම්ගම යම් තැනෙක්හිද එහි වැඩ වාසය කරණසේක. ස්වාමීනි, එහිදී මවිසින් භාග්යවතුන් වහන්සේගෙන් ‘ආනන්දය මම දැන් වනාහි සූන්යතා විහරණයෙන් බහුලව වාසය කරමි’ යන මෙය අසන ලදී. පිළිගන්නා ලදී. කිමෙක්ද ස්වාමීනි, එය මා විසින් මනා කොට අසන ලද්දක්ද? මනාකොට ඉගෙන ගන්නා ලද්දක්ද? මනාකොට මෙනෙහි කරන ලද්දක්ද? මනාකොට දරණ ලද්දක්ද?
“ආනන්දය, නුඹ විසින් මෙය ඒකාන්තයෙන් මනා කොට අසන ලද්දේය. මනාකොට ඉගෙන ගන්නා ලද්දේය. මනාකොට මෙනෙහි කරණ ලද්දේය. මනාකොට දරණ ලද්දේය. ආනන්දය මම පෙරද දැන් ද සූන්යතා විහරණයෙන් බහුලව වාසය කරමි. මේ මිගාරමාතු ප්රාසාදය යම්සේ ඇත් ගව අස් වෙළඹුන්ගෙන් සූන්යද, රන්රිදියෙන් සූන්යද, ස්ත්රී පුරුෂයන් රැස්ව සිටීමෙන් සූන්යද, භික්ෂු සංඝයා නිසා පවත්නා යම් මේ අසූන්යත්වයක් වේද, ඒ එකම අසූන්යත්වය ඇත්තේය. ආනන්දය, එපරිද්දෙන්ම මහණතෙම ගමය යන හැඟීම මෙනෙහි නොකොට මිනිසුන්ය යන හැඟීම මෙනෙහි නොකොට අරණ්යය යන එකම හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත අරණ්ය යන හැඟීමෙහි බැසගනී, පහදී, මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. ගමය යන හැඟීම නිසා ඇතිවන යම් කෙලෙස් දැවිලි වෙත්නම්, ඔව්හු මේ අරණ්ය යන හැඟීමෙහි නැත. මිනිසුන්ය යන හැඟීම නිසා ඇතිවන යම් කෙලෙස් දැවිලිවන්නාහුනම් ඔව්හු මේ අරණ්ය යන හැඟීමෙහි නැත. එකම අරණ්ය යන හැඟීම නිසා යම් මේ කෙලෙස් දැවිල්ලක් ඇත්නම් එපමණක්ම ඇත්තේය. හෙතෙම ගමය යන හැඟීමෙන් වන්නාවූ කෙලෙස් දැවිල්ලෙන් සූන්යයයි දැනගනියි. මිනිසුන්ය යන හැඟීමෙන් වන්නාවූ කෙලෙස් දැවිල්ලෙන් සූන්යයයි දැනගනියි. අරණ්ය සංඥාව නිසා පවත්නාවූ යම් එකම කෙලෙස් දැවිලි මාත්රයක්ම ඇත්තේයයි. දැනගනියි. මෙසේ යම්කිසි කෙලෙස් දැවිල්ලක් නැත්නම් එයින් එය සූන්යයයි නුවණැසින් දකී. යම්කිසි කෙලෙස් දැවිල්ලක් වේනම් ඒ ශාන්තවූ ක්ලේශ දරථයම ඇත්තේයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ මේ සූන්යත්වය ඇතිවෙයි.
“ආනන්දය, නැවතද මහණතෙම මිනිසුන් යන හැඟීම මෙනෙහි නොකොට අරණ්යය යන හැඟීම මෙනෙහි නොකොට පඨවී (පොළොව) යන එකම හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත පොළොව යන හැඟීමෙහි බැසගනී, පහදී, පිහිටයි. ස්ථිරව පිහිටයි. ආනන්දය, යම්සේ, වෘෂභ හමක් (එනම් ගවයෙකුගේ හමක්) සිය ගණන් උලින් දිගහැර මොනවට රැලිරහිත කරන ලද්දේද ආනන්දය එපරිද්දෙන්ම මහණතෙම මේ පොළොවෙහි යම් උස්පහත් තැන්වේද, ගංගා කඳු හෙල් සහිතවේද, කණු කටු සහිතවේද, පර්වතයන්ගෙන් විසමද ඒ සියල්ල මෙනෙහි නොකොට එකම පොළොව යන හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත පොළොව යන හැඟීමෙහි බැසගනී, පහදී, සිටී, ස්ථිරව පිහිටයි, හෙතෙම මෙසේ දැනගනී. මනුෂ්ය සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම්, ඔව්හු මේ පොළොවෙහි නැත. අරණ්යය යන හැඟීම නිසා පවත්නාවූ යම් ක්ලේශ දැවිල්ලක් ඇත්නම් එයද මේ පොළොවෙහි නැත. පොළොව යන හැඟීම නිසා පවත්නා එකම ක්ලේශ දරථ මාත්රයක්ම ඇත්තේය. හෙතෙම මේ සංඥාව මනුෂ්ය සංඥාවෙන් සූන්යයයි දැනගනී මේ සංඥාව අරණ්ය සංඥාවෙන් සූන්යයයි දැනගනී. පෘථිවි සංඥාව නිසා පවත්නාවූ යම් එකම අසූන්යත්වයක් වේනම් එයම ඇත්තේයයි දැනගනී. මෙසේ එහි කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්යයයි දකී. යම් කිසි කෙලෙස් දැවීම් මාත්රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්යමානවූ වෙනස් නොවූ පිරිසිදු මේ සූන්යතාවය ඇතිවෙයි.
“ආනන්දය, නැවතද මහණතෙම අරණ්ය සංඥාව මෙනෙහි නොකොට පෘථිවි සංඥාව මෙනෙහි නොකොට එකම ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී, අරණ්ය සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු ආකාසානඤ්චායතනයෙහි නැත. පෘථිවි සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු ආකාසානඤ්චායතනයෙහි නැත. එකම ආකාසානඤ්චායතන සංඥාව නිසා පවත්නාවූ යම් ක්ලේශ දැවිලි මාත්රයක් ඇත්තේ නම් එයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව අරණ්ය සංඥාවෙන් සූන්යයයි දැනගනී. මේ සංඥාව පෘථිවි සංඥාවෙන් සූන්යයයි දැනගනී. යම් මේ ආකාසානඤ්චායතනය නිසාවූ එකම අසූන්ය තාවයක්වේ නම් එයම ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවීම් මාත්රයක් නොවේ නම් එයින් එය සූන්යයයි නුවණැසින් දකී. යම්කිසි දරථ මාත්රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්යතාවය, ඇතිවෙයි.
“ආනන්දය, නැවතද මහණතෙම පෘථිවි සංඥාව මෙනෙහි නොකොට ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙහි බැස ගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැන ගනී. කෙසේද පෘථිවි සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ විඤ්ඤාණඤ්චායතනයෙහි නැත. ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ විඤ්ඤාණඤ්චායතනයෙහි නැත. එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවීම් මාත්රයක් ඇත්නම් එයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව පෘථිවි සංඥාවෙන් සූන්යයයි දැනගනී. මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්යයයි දැනගනී. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්යත්වයක් වේනම් එයම ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්යයයි නුවණැසින් දකී. යම්කිසි කෙලෙස් දැවීම් මාත්රයක් ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්යමානවූ, වෙනස් නොවූ, පිරිසිදුවූ සූන්යතාවය ඇතිවෙයි.