3. 2. 9.
කායගතා සති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාවූ, උපස්ථාන සාලාවෙහි (ආගන්තුකාදීන්ට සත්කාරකරන ශාලාවෙහි) රැස්වී වැඩහුන්නාවූ, බොහෝ භික්ෂූන් අතරෙහි මේ අතුරු කථාව ඇතිවීය: ‘(දතයුතු සියල්ල) දන්නාවූ (දැක්ක යුතු සියල්ල) දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, කායගතා සතියක් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තී යයි වදාරණ ලද්දේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයකි, ඇවැත්නි, එය පුදුමයකි’ යනුයි. ඒ භික්ෂූන්ගේ, මේ අතුරු කථාව මෙසේ අතරමග නැවතුණේ වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගී සිටියේ (ආගන්තුකාදීන්ට) සත්කාර කරන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ: “මහණෙනි, දැන් වනාහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? ඔබලාගේ කිනම් අතුරු කථාවක් අතරමග නැවතුණේ දැයි” ඇසූහ.
“ස්වාමීනි, මෙහි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යෑමෙන් වැලකුනාවූ, උපස්ථාන ශාලාවෙහි රැස්වී හුන්නාවූත අප අතරෙහි මේ අතුරු කථාව ඇතිවිය: ‘දන්නාවූ දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යම් මේ කායගතා සතියත් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තීයයි වදාරණ ලද්දේ වේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, එය පුදුමය’ ස්වාමීනි, අපේ මේ කථාව අවසන් නොවූයේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.
“මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
‘මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
“මහණෙනි, නැවතද මහණතෙම ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද අවට බැලීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. පාත්‍රා, දෙපට සිවුරු, තනිපොට සිවුරු, දැරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, අවුලුපත් කෑමෙහිද, රස විඳීමෙහිද, නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් මනා කොට දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදිමැරීමෙහිද, කථාකිරීමෙහිද, කථා නොකිරීමෙහිද නුවණින් මනාකොට දැනකරන්නේ වෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් පඤ්ච කාමය ඇසුරුකොට පවත්නාවූ, ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද කායගතා සතිය වඩයි.
“මහණෙනි, නැවතද මහණතෙම පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි: මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණුබහණ, නොදිරූ ආහාරමළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු සහ මූත්‍ර ඇත්තේය (කියායි).
මහණෙනි, යම්සේ උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද? කිනම් ධාන්‍යවලින් (පුරවන ලද මල්ලක්) ද යත්:- හැල්වී, මාවී, මුං, මෑ, තල සහ සහල් (යන මේ ධාන්‍ය වලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා, මේ හැල්ය, මේ මාවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල් යයි යම්සේ මෙනෙහි කරන්නේ වේද, එපරිද්දෙන්ම මහණෙනි, (මහණතෙම) පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති, නානාවිධ අසුචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි: මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණු බහණ, නොදිරූ ආහාර, මළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු, සහ මූත්‍ර ඇත්තේය. (කියයි.) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳාසිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
“මහණෙනි, නැවතද මහණතෙම යම් ඉදිරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබනලද්දාවූ, මේ කයම ධාතු වශයෙන් නුවණින් සිහි කරන්නේය. (කෙසේද) මේ කයෙහි පඨවි ධාතුව ඇත්තේය. ආපෝධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියයි.)