3. 2. 10.
10. සංඛාරුප්පත්ති සූත්‍රය
160. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරති. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. ඒ භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ යැයි’ උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, (මම) තොපට සංස්කාරයන්ගේ ඇතිවීම දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
161. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහුට මම මේ ශරීරය බිඳීමෙන් මරණින් පසු ක්ෂත්‍රිය මහාසාරයන් හා එක්වීමට (උප්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳයයි සිත් වන්නේය. හෙතෙම ඒ සිත තබයිද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද, මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතී.
162. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ මහණහට ශරීරය බිඳීමෙන් මරණින් පසු මම බ්‍රාහ්මණ මහාසාරයන් එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා හොඳයයි සිතන්නේද ඒ සිත තබන්නේද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද මෙසේ වඩනලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතී. “මහණෙනි, නැවතද මහණතෙමේ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ සීලයෙන් යුක්තවූයේ ත්‍යාගයෙන් යුක්තවූයේ බහුශ්‍රැතයෙන් යුක්තවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහුට මම ශරීරය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලයෙහි උපදින්නෙම් නම් හොඳයයි සිත්වන්නේය. හෙතෙම ඒ සිත තබයිද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ගෘහපති මහාසාර කුලයෙහි ඉපදීම පිණිස ඒ මහණහට හේතුවෙත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ ගෘහපති මහාසාර කුලයෙහි ඉපදීම පිණිස පවතියි.
163. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ ශීලයෙන් යුක්තවූයේ බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ ත්‍යාගයෙන් යුක්තවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් චාතුර්මහාරාජික දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම්, ඉතා හොඳයයි සිත් වන්නේය. හෙතෙම ඒ සිත තබයිද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
164. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ ශීලයෙන් යුක්තවූයේ බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ ත්‍යාගයෙන් යුක්තවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද ඔහු විසින් තව්තිසාවෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, යාමයෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම යාම දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩන ලද මෙසේ පුරුදුකරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව් ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් තුසිත දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම තුසිත දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්ත වූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් නිර්මාණරතියෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම නිර්මාණ රතියෙහි දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් පරනිර්මිත වසවර්තියෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු පරනිර්මිත වසවර්ති දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිත්වන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
165. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේවෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේවෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් සහස්සනම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය. වර්ණ ඇත්තේය. බොහෝ සැප ඇත්තේයයි අසන ලද්දේවෙයි. මහණෙනි, සහස්ස නම් බ්‍රහ්මතෙම දහසක් ලෝක ධාතුව ආලෝකය පතුරුවා ප්‍රකටකොට වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකය පතුරුවා ප්‍රකට කොට වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් එක් අතැඹුලක් (අතට ගත් නෙල්ලි ගෙඩියක්) සිතා බලන්නේ යම්සේද, එසේම මහණෙනි, සහස්ස නම් බ්‍රහ්ම තෙම දහසක් ලෝක ධාතුව ආලෝකය ප්‍රකට කොට වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකය පතුරුවා, ප්‍රකටකොට වාසය කරයි. ඒ මහණහට මම කය බිඳීමෙන් මරණින් පසු සහස්ස නම් බ්‍රහ්මයා හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිත් වන්නේය. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.
166. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් ද්විසහස්ස නම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි ඒ මහණහු විසින් අසන ලද්දේ වෙයි. මහණෙනි, ද්විසහස්ස නම් බ්‍රහ්මතෙම දෙදාහක් ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවා ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් (අතටගත් නෙල්ලිගෙඩි දෙකක්) සිතා බලන්නේ යම්සේද, එසේම මහණෙනි, ද්විසහස්ස නම් බ්‍රහ්මතෙම දෙදහසක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා ප්‍රකටව දැන වාසය කරයි. ඒ මහණහට මේ අදහස ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු, මම ද්විසහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උප්පත්ති වශයෙන්) පැමිනෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි, මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද ඔහු විසින් තිසහස්ස බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි ඒ මහණහු විසින් අසන ලද්දේ වෙයි. මහණෙනි, තිසහස්ස නම් බ්‍රහ්මතෙම තුන්දාහක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් (අතටගත් නෙල්ලිගෙඩි තුනක්) සිතා බලන්නේ යම්සේද, එසේම මහණෙනි, තිසහස්ස නම් බ්‍රහ්මතෙම තුන් දහසක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටකොට දැන වාසය කරයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම තිහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උප්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි. මෙසේ වඩනලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය. මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් චතුසහස්ස නම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි අසනලද්දේ වෙයි. මහණෙනි, චතුසහස්ස නම් බ්‍රහ්මතෙම හාරදාහක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටකොට දැන වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් (අතට ගත් නෙල්ලිගෙඩි සතරක්) බලන්නේ යම්සේද, එසේම මහණෙනි, චතුසහස්ස නම් බ්‍රහ්මතෙම හාරදාහක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකට කොට දැන වාසය කරයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම චතු සහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උප්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි, මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, එහි ඉපදීම පිණිස පවතියි. “මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් පඤ්චසහස්ස නම් බ්‍රහ්මතෙම පන්දාහක් ලෝකධාතුව ආලෝකය පතුරුවා, ප්‍රකටකොට වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ ආලෝකය පතුරුවා ප්‍රකට කොට වාසය කරයි. මහණෙනි, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් (අතට ගත් නෙල්ලිගෙඩි පහක්) බලන්නේද, මහණෙනි, එමෙන් පඤ්චසහස්ස නම් බ්‍රහ්මතෙම පන්දාහක් ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවා ප්‍රකටකොට දැන වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. ඒ මහණහට මෙසේ අදහස් වෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම පඤ්චසහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයිද, ඒ සිත පිහිටුවයිද, ඒ සිත වඩයිද, මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද මෙසේ වඩනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.