3. 2. 8.
ආනාපාන සති සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ පූර්වාරාමයේ “මිගාර මාතු” නම් ලත් ප්රාසාදයෙහි බොහෝ ප්රසිද්ධ ප්රසිද්ධ ස්ථවිර ශ්රාවකයන් සමග වැඩ වෙසෙති. (එනම්,) ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා මෞත්ගල්යායන ස්ථවිරයන්, ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කාත්යායන ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් රෙවතස්ථවිරයන්ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ද, අනිකුත් ප්රසිද්ධ ප්රසිද්ධ ස්ථවිර ශ්රාවකයන්ද, සමගය.
එකල්හි වනාහි ස්ථවිර භික්ෂුහු අළුත මහණවූ භික්ෂූන්ට අවවාද කරති. අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් දස නමකටද, අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂුහු, භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත මහණවූ භික්ෂුහුද සිල් පිරීම් ආදි පළමු විශේෂයන්ට වඩා මහත්වූ කසිණ භාවනාදී විශේෂයෙන් දැනගනිති.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ එදා පිරුනු සඳ ඇති පවාරණය කරන පසළොස්වක් පෝයදා රෑ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එළිමහන් තන්හි වැඩ සිටි සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතව තුෂ්ණීම්භූතව (හුන්) භික්ෂු සංඝයා බලා ඔවුන්ට කථා කළහ. “මහණෙනි, මේ ප්රතිපත්තියෙහි සතුටු වූයේ වෙමි. මහණෙනි, මේ ප්රතිපත්තියෙහි සතුටු සිතැත්තේ වෙමි. මහණෙනි, එබැවින් නොපැමිණි මාර්ග ඵලයට පැමිණීම පිණිස අවබෝධ නොකළ ධර්මයාගේ අවබෝධය පිණිස ප්රත්යක්ෂ නොකළ ධර්මය ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්ය්ය කරව්. මම මේ සැවැත් නුවරම කුමුදු පිපෙන්නාවූ වස් සාරමාසයේ අන්තිම මාසය වන ඉල් මාසය දක්වා නවතින්නෙමි.”
භාග්යවතුන් වහන්සේ වනාහී ඒ සැවැත් නුවරම වස් සාරමාසයේ අන්තිම මාසයවූ කුමුදු පිපෙන්නාවූ ඉල් මාසය දක්වා වැඩසිටින සේකැයි ජනපදවාසී භික්ෂූහු ඇසුවාහුය. ඒ ජනපදවාසී භික්ෂූහුද බුදුන් දකින්නට සැවැත් නුවරට රැස්වෙති. ඒ ස්ථවිර භික්ෂූහුද අළුත් භික්ෂූන්ට වැඩියත් අවවාද කරත්. අනුශාසනා කරත්. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් දස නමකටද අවවාද කරත්, අනුශාසනා කරත්. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ, අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත් භික්ෂූහුද සිල්පිරීම් ආදී පළමු විශේෂයන්ට වඩා කසිණ භාවනාදී විශේෂයන් දැනගනිති.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ කුමුදු ඇත්තාවූ වස් සාරමාසයේ අන්තිම මාසයවූ පිරුණු සඳ ඇති ඉල්මස පසළොස්වක්දා රෑ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එළිමහන් තන්හි වැඩ සිටි සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තුෂ්ණීම්භූතව තුෂ්ණීම්භූතව (හුන්) භික්ෂු සංඝයා බලා, ඔවුන්ට කථා කළහ. “මහණෙනි, මේ පිරිස කථා නැත්තේය. මහණෙනි, මේ පිරිස දෙඩුම් නැත්තේය. පිරිසිදුය, සාරයෙහි පිහිටියාය. මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, යම්බඳු පිරිසක් පූජා ලැබීමට, ආගන්තුක සත්කාර ලැබීමට දානය ලැබීමට, වැඳුම් ලැබීමට, සුදුසු වේද ලෝකයාගේ අති උතුම් පිංකෙත වේද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වාභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. යම්බඳු පිරිසකට ස්වල්පයක් දුන්නේ බොහෝ (විපාක ඇත්තේ) වේද? බොහෝ දුන්නේ ඉතා බොහෝ (විපාක ඇත්තේ) වේද? මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. යම්බඳු පිරිසක් ලෝකවාසීන්ට දැකීමට දුර්ලභවේද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වරූප ඇත්තේය. යමබඳු පිරිසක් දැකීම සඳහා සේනාව බත් බැඳගන යොදුන් ගණනක් යාමට සුදුසුද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය.
මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතරෙහි (රාගාදී) ආශ්රව ක්ෂය කළාවූ වැස නිමකළ බ්රහ්මචරියාව ඇත්තාවූ, කළයුතු දේ කළාවූ, බහා තැබූ (කෙලෙස්) බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ භව බැඳුම් සිඳදැමූ, මනාකොට දත්තාවූ, (කෙලෙස් වලින්) මිදුනාවූ රහතන් වහන්සේලාද සිටිති. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතරෙහි සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතරෙහි පස්වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් (සුද්ධාවාසයෙහි) ඔපපාතිකව ඉපිද එහිම පිරිනිවන් පාන්නාවූ ඒ ලෝකයෙන් (නැවත) මේ ලෝකයට උප්පත්ති වශයෙන් නොඑන්නාවූ අනාගාමීහුද සිටිති. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහු භික්ෂූද මේ භික්ෂු සංඝයා අතරෙහි සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සංයෝජන තුනක් නැති කිරීමෙන් රාගය, ද්වේෂය සහ මෝහය තුනීවූ බැවින් එක් වරක්ම මේ ලෝකයට (උප්පත්ති වශයෙන්) අවුත් දුක් කෙළවරකරන සකෘදාගාමි පුද්ගලයෝද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූහු සංඝයා අතර සංයෝජන තුනක් නැති කිරීමෙන් නිරයට නොයන ස්වභාව ඇත්තාවූ, ඒකාන්තයෙන් නිවන් දකින්නාවූ, සෝවාන් වූවාහුද සිටිති, මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති.
මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සතර සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ, භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූන් අතර සතර සම්යක් ප්රධාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත. මහණෙනි, භික්ෂූන් අතර මෙබඳු භික්ෂූහුද වෙති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සතර ඍද්ධිපාද භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර පංචේන්ද්රිය භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂුහුද වෙති. මහණෙනි, මෙබඳුවූ භික්ෂු සංඝයාද මේ භික්ෂූන් අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර පංච බල භාවනාවෙහි යෙදී වසන්නාවූ භික්ෂූහුද ඇත. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සප්ත බෝධ්යංග භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහුය. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර ආර්ය්ය අෂ්ටාංගික මාර්ග භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද වෙති. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති.