3. 2. 7.
මහාචත්තාරීසක සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථාකළ සේක. ‘ස්වාමීනි’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, තොපට ආර්ය වූ සම්මාසමාධිය උපනිස සහිතව පිරිවර සහිතව දේශනා කරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දේශනා කරන්නෙමි”යි.
“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, ආර්ය වූ උපනිස සහිත වූ පිරිවර සහිත වූ සම්මාසමාධිය කවරේ ද? එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති ය. මහණෙනි, යම් මේ සතඟකින් චිත්තයාගේ එකඟ බවක් පිරිවරා ඇද්ද, මහණෙනි, මේ ආර්ය සම්මාසමාධිය උපනිස සහිත යයි ද, සපරිවාර යයි ද කියනු ලැබේ.
මහණෙනි, එහිලා සම්මාදිට්ඨිය පෙරටුව යන්නේ වෙයි. මහණෙනි, සම්මාදිට්ඨිය පෙරටුව යන්නේ කෙසේද? මිථ්යාදෘෂ්ටිය මිථ්යාදෘෂ්ටිය යයි දැනගනී ද, සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය යයි දැනගනී ද, එය ඔහුගේ සම්මාදිට්ඨිය වෙයි.
මහණෙනි, මිථ්යාදෘෂ්ටිය කවරී ද? දුන් දෙයෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, පුද පඬුරු යැවීමෙහි විපාක නැත, හොඳ නරක කර්මවල ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්වයෝ නැත, යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තමන් විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකාශ කරත් ද, එබඳු වූ මනා ගමන් ඇති මනා පිළිවෙත් ඇති ශ්රමණබ්රාහ්මණයෝ ලෝකයෙහි නැත කියා යි. මහණෙනි, මේ මිථ්යාදෘෂ්ටිය යි.
මහණෙනි, සම්මාදිට්ඨිය කවරී ද? මහණෙනි, මම සම්මාදිට්ඨිය ද දෙපරිදි කොට කියමි. මහණෙනි, ආශ්රව සහිත වූ පුණ්යභාගයට අයත් උපධි විපාක දෙන සම්මාදිට්ඨියක් ඇත. මහණෙනි, ආර්ය වූ අනාශ්රව වූ ලොකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨියක් ඇත.
මහණෙනි, ආශ්රව සහිත වූ පුණ්යභාගයට අයත් උපධි විපාක දෙන සම්මාදිට්ඨිය කවරී ද? දුන් දෙයෙහි විපාක ඇත, මහායාගයෙහි විපාක ඇත, පුද පඬුරු යැවීමෙහි විපාක ඇත, හොඳ නරක කර්මවල ඵල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්වයෝ ඇත, යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තමන් විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකාශ කරත් ද, එබඳු වූ මනා ගමන් ඇති මනා පිළිවෙත් ඇති ශ්රමණබ්රාහ්මණයෝ ලෝකයෙහි ඇත කියා යි. මහණෙනි, මේ ආශ්රව සහිත වූ පුණ්යභාගයට අයත් උපධි විපාක දෙන සම්මාදිට්ඨිය යි.
මහණෙනි, ආර්ය වූ අනාශ්රව වූ ලොකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කවරී ද? මහණෙනි, ආර්ය සිත් ඇත්තහුගේ අනාශ්රව සිත් ඇත්තහුගේ ආර්යමාර්ගයෙහි පිහිටියහුගේ ආර්යමාර්ගය වඩන්නහුගේ යම් ප්රඥාවක් පඤ්ඤින්ද්රියක් ප්රඥාබලයක් ධම්මවිචය සම්බොජ්ඣංගයක් සම්මාදිට්ඨි මාර්ගාංගයක් වේ ද, මහණෙනි, මේ ආර්ය වූ අනාශ්රව වූ ලොකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය යි කියනු ලැබේ. හෙතෙම මිථ්යාදෘෂ්ටිය ප්රහාණය කිරීමටත් සම්මාදිට්ඨිය උපදවා ගැනීමටත් වෑයම් කරයි. එය ඔහුගේ සම්මාවායාමය වෙයි. හෙතෙම සිහියෙන් යුතුව මිථ්යාදෘෂ්ටිය දුරු කරයි. සිහියෙන් යුතුව සම්මාදිට්ඨිය උපදවාගෙන වසයි. එය ඔහුගේ සම්මාසතිය වෙයි. මෙසේ මොහුගේ මේ ධර්මයෝ තිදෙන සම්මාදිට්ඨිය අනුව දුවති, අනුව පවතිති. එනම්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති ය.
මහණෙනි, එහිලා සම්මාදිට්ඨිය පෙරටුව යන්නේ වෙයි. මහණෙනි, සම්මාදිට්ඨිය පෙරටුව යන්නේ කෙසේද? මිථ්යාසඞ්කප්පය මිථ්යාසඞ්කප්පය යයි දැනගනී ද, සම්මාසඞ්කප්පය සම්මාසඞ්කප්පය යයි දැනගනී ද, එය ඔහුගේ සම්මාදිට්ඨිය වෙයි.
මහණෙනි, මිථ්යාසඞ්කප්පය කවරේ ද? කාමසඞ්කප්පය, ව්යාපාදසඞ්කප්පය, විහිංසාසඞ්කප්පය යි. මහණෙනි, මේ මිථ්යාසඞ්කප්පය යි.
මහණෙනි, සම්මාසඞ්කප්පය කවරේ ද? මහණෙනි, මම සම්මාසඞ්කප්පය ද දෙපරිදි කොට කියමි. මහණෙනි, ආශ්රව සහිත වූ පුණ්යභාගයට අයත් උපධි විපාක දෙන සම්මාසඞ්කප්පයක් ඇත. මහණෙනි, ආර්ය වූ අනාශ්රව වූ ලොකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාසඞ්කප්පයක් ඇත.
මහණෙනි, ආශ්රව සහිත වූ පුණ්යභාගයට අයත් උපධි විපාක දෙන සම්මාසඞ්කප්පය කවරේ ද? නෙක්ඛම්මසඞ්කප්පය, අව්යාපාදසඞ්කප්පය, අවිහිංසාසඞ්කප්පය යි. මහණෙනි, මේ ආශ්රව සහිත වූ පුණ්යභාගයට අයත් උපධි විපාක දෙන සම්මාසඞ්කප්පය යි.
මහණෙනි, ආර්ය වූ අනාශ්රව වූ ලොකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාසඞ්කප්පය කවරේ ද? මහණෙනි, ආර්ය සිත් ඇත්තහුගේ අනාශ්රව සිත් ඇත්තහුගේ ආර්යමාර්ගයෙහි පිහිටියහුගේ ආර්යමාර්ගය වඩන්නහුගේ යම් තර්කයක් විතර්කයක් සංකල්පයක් අර්පණාවක් ව්යර්පණාවක් චිත්තයාගේ අභිනිවෙසයක් වාක් සංස්කාරයක් වේ ද, මහණෙනි, මේ ආර්ය වූ අනාශ්රව වූ ලොකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාසඞ්කප්පය යි. හෙතෙම මිථ්යාසඞ්කප්පය ප්රහාණය කිරීමටත් සම්මාසඞ්කප්පය උපදවා ගැනීමටත් වෑයම් කරයි. එය ඔහුගේ සම්මාවායාමය වෙයි. හෙතෙම සිහියෙන් යුතුව මිථ්යාසඞ්කප්පය දුරු කරයි. සිහියෙන් යුතුව සම්මාසඞ්කප්පය උපදවාගෙන වසයි. එය ඔහුගේ සම්මාසතිය වෙයි. මෙසේ මොහුගේ මේ ධර්මයෝ තිදෙන සම්මාසඞ්කප්පය අනුව දුවති, අනුව පවතිති. එනම්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති ය.
මහණෙනි, එහිලා සම්මාදිට්ඨිය පෙරටුව යන්නේ වෙයි. මහණෙනි, සම්මාදිට්ඨිය පෙරටුව යන්නේ කෙසේද? මිථ්යාවාචාව මිථ්යාවාචාව යයි දැනගනී ද, සම්මාවාචාව සම්මාවාචාව යයි දැනගනී ද, එය ඔහුගේ සම්මාදිට්ඨිය වෙයි.