3. 2. 4.
සෙවිතබ්බාසෙවිතබ්බ සූත්රය
එවං මෙ සුතං: මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්ෂූන්ට කථා කළසේක. ස්වාමීනි,’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, මම තොපට සේවනය කළ යුතුවූද, සේවනය නොකළ යුතුවූද, ධර්ම ක්රමයක් දේශනා කරන්නෙමි. එය මැනවින් අසව්, මැනවින් මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි කියායි. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, මම කායික පැවැත්මද (කායසමාචාරය) සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ කායික පැවැත්ම සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම වචනයේ පැවැත්මද (වචීසමාචාරය) සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ වචනයේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම සිතේ පැවැත්මද (මනොසමාචාරය) සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සිතේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම සිත ඉපදීමද (චිත්තුප්පාදය) සේවනය කළ යුත්තය, සේවනය නොකල යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ චිත්තුප්පාදයද සේවනය කළ යුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම සංඥාව ලැබීමද (සඤ්ඤාපටිලාභය) සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සඤ්ඤාපටිලාභයද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම දෘෂ්ටිය ලැබීමද (දිට්ඨිපටිලාභය) සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ දිට්ඨිපටිලාභයද සේවනය කළ යුත්තය අනිකෙක. සේවනය නොකළ යුත්ත අනිකෙකියි කියමි. මහණෙනි, මම ආත්මභාවය ලැබීමද (අත්තභාවපටිලාභය) සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ අත්තභාවපටිලාභයද සේවනය කළයුත්ත අනිකෙක සේවනය නොකළ යුත්ත අනිකෙකැයි කියමි.”
මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්ර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය පැවසීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් දේශනා කරන ලද විස්තර වශයෙන් අර්ථ නොබෙදන ලද මේ ධර්මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දැනගතිමි”යි කියායි.
“මහණෙනි, මම කායසමාචාරයද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ කායසමාචාරයද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මෙසේ වනාහි භාග්යවතුන් වහන්සේ විසින් යමක් වදාරණ ලදී ද, මෙය කුමක් සඳහා කියන ලදද? ස්වාමීනි, යම්බඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ කායසමාචාරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ කායසමාචාරය සේවනය කළ යුතුයි.”
ස්වාමීනි, කෙබඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නා හට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශලධර්මයෝ පිරිහෙත්ද? ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක් ප්රාණඝාතී වේද, රළුවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ පහර දීමෙහි හා නැසීමෙහි යෙදුනේ, ප්රාණීන් කෙරෙහි දයා රහිතවූයේ වේද; නුදුන් දේ ගන්නේ වේද, ගමෙහි වූ හෝ අරණ්යයෙහිවූ හෝ යම් ඒ අන්සතු ධනයක් උපකරණයක් වේනම් එය සොර සිතින් නුදුන් දේ ගන්නා ලද්දේ වේද; කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, යම් ඒ ස්ත්රියක් තොමෝ මව විසින් රක්නා ලද්දීද, පියා විසින් රක්නා ලද්දීද, මව්පියන් විසින් රක්නා ලද්දීද, සොහොයුරන් විසින් රක්නා ලද්දීද, සොහොයුරියන් විසින් රක්නා ලද්දීද, ඥාතීන් විසින් රක්නා ලද්දීද, ගෝත්රයෙන් රක්නා ලද්දීද, ධර්මයෙන් රක්නා ලද්දීද, ස්වාමියා සහිතවූවාද, දඬුවම් සහිත වූවාද, යටත් පිරිසෙයින් මල්මාලාවක් බහා වෙන්කරන ලද්දීද, යන එබඳුවූ ස්ත්රින් කෙරෙහි චාරිත්ර ඉක්මවන්නෙක් වේද; ස්වාමීනි, එබඳුවූ කායසමාචාරය සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්.
ස්වාමීනි, කෙබඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද: ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක් තෙම ප්රාණඝාතය හැර ප්රාණඝාතයෙන් වෙන්වූයේ වේද, බහා තබනලද දඬු ඇත්තේ, බහා තබනලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, දයාවෙන් යුක්තවූයේ සියළු ප්රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද; නුදුන් දෙය ගැණීම හැර නුදුන් දෙය ගැණීමෙන් වෙන්වූයේ වේද, ගමෙහි හෝ අරණ්යයෙහි හෝ යම් අන්සතු වස්තුවක් උපකරණයක් වේද, එය සොරසිතින් නුදුන් දේ නොගන්නේ වේද; කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, යම් ඒ ස්ත්රියක් තොමෝ මව විසින් රක්නා ලද්දීද, පියා විසින් රක්නා ලද්දීද, මව්පියන් විසින් රක්නා ලද්දීද, සොහොයුරන් විසින් රක්නා ලද්දීද, සොහොයුරියන් විසින් රක්නා ලද්දීද, ඥාතීන් විසින් රක්නා ලද්දීද, ගෝත්රයෙන් රක්නා ලද්දීද, ධර්මයෙන් රක්නා ලද්දීද, ස්වාමියා සහිත වූවාද, දඬුවම් සහිත වූවාද, යටත් පිරිසෙයින් මල්මාලාවක් බහා වෙන්කරන ලද්දීද, යන මෙබඳුවූ ස්ත්රීන් කෙරෙහි චාරිත්ර ඉක්මවීම නොකරන්නේ වේද; ස්වාමීනි, එබඳුවූ කායසමාචාරය සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.
“මහණෙනි, මම කායසමාචාරය සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයෙන් කියමි. ඒ කායසමාචාරයද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකි”යි භාග්යවතුන් වහන්සේ විසින් යමක් වදාරණ ලදනම් එය මේ සඳහා දේශනා කරන ලදී.
“මහණෙනි, මම වචීසමාචාරයද සේවනය කළයුත්තය. සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ වචීසමාචාරයද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකක”යි භාග්යවතුන් වහන්සේ විසින් යමක් වදාරණ ලදනම් එය කුමක් සඳහා දේශනා කරන ලදද? ස්වාමීනි, යම් ආකාර වචීසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ වචීසමාචාරය සේවනය නොකළ යුතුය. ස්වාමීනි යම් ආකාර වචීසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ වචීසමාචාරය සේවනය කළයුතුයි.