3. 2. 5.
බහුධාතුක සූත්රය
124. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි, කියා භික්ෂූන්ට කථා කළහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූඋපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. “මහණෙනි, යම්කිසි බටකොළ සෙවිලි කළ ගෙයක් හෝ තණකොළ සෙවිලි කළ ගෙයක් හෝ ගිනි ඇවිලුනේ යම්සේ ගේමුදුන් දවාද, සුනු පිරියම් කළ වෙසෙන තැන්ද අගුළු ගැසූ දොරවල්ද, වසනලද වාතකවුළුද යන සියල්ල අළු කෙරේද, එසේම මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි උපද්රවයක් උපදීනම්, ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. “මහණෙනි, මෙසේ බාලතෙම බිය සහිතවේ. පණ්ඩීත තෙමේ බිය රහිතවේ. බාලතෙමේ උවදුරු සහිතවේ. පණ්ඩිත තෙමේ උවදුරු රහිතවේ. බාලතෙමේ විපත්ති සහිතවේ. පණ්ඩිත තෙමේ විපත්ති රහිත වේ. “මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) බියක් නැත. පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) උවදුරක් නැත. පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) විපතක් නැත. මහණෙනි, එහෙයින් මෙහිදී විමසා කටයුතු කරන පණ්ඩිතයෝ වෙමුයයි මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය”යි වදාළසේක.
මෙසේ වදාළකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීනි, කොපමණකින් වනාහි මහණතෙමේ විමසා කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේද?” යනුයි.
“ආනන්දය, යම්තැනක පටන් මහණතෙමේ (අටළොස්) ධාතු දැනීමෙහි දක්ෂවේද, ආයතන දැනීමෙහි දක්ෂවේද, පටිච්චසමුප්පාදය දැනීමෙහි දක්ෂවේද, කරුණු නොකරුණු දැනීමෙහි දක්ෂවේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුතෙම විමසීමෙහි කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේ.”
125. “ස්වාමීනි, කොපමණකින් වනාහි භික්ෂූතෙමේ ධාතුන්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේද?”
“ආනන්දය, මේ ධාතූහු වනාහි මෙපමණ වෙති. චක්ඛු ධාතුය, රූප ධාතුය චක්ඛු විඤ්ඤාණ ධාතුය-සොත ධාතුය-සද්ද ධාතුය-සොත විඤ්ඤාණ ධාතුය-ඝාණ ධාතුය-ගන්ධ ධාතුය-ගන්ධ විඤ්ඤාණ ධාතුය-ජිව්හා ධාතුය රස ධාතුය-ජිව්හා විඤ්ඤාණ ධාතුය-කායධාතුය-ඵොට්ටබ්බ ධාතුය-කාය විඤ්ඤාණ ධාතුය-මනො ධාතුය-ධම්ම ධාතුය-මනො විඤ්ඤාණ ධාතුය කියායි. ආනන්දය, මේ අටළොස් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂයෙකැයි කීමට සුදුසුය.
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්රමයකුදු ඇත්තේද?”
“ආනන්දය, ඇත්තේය. ආනන්දය, මේ ධාතූහු සදෙනෙක් වෙති. පඨවි ධාතුය-ආපො ධාතුය-වායො ධාතුය-තෙජො ධාතුය-ආකාස ධාතුය-විඤ්ඤාණ ධාතුය කියායි. “ආනන්දය, මේ සය වැදෑරුම් ධාතූන් යම්තැනක පටන් කොට දනීද? දකීද? මෙපමණකිනුදු ආනන්දය, ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්රමයකුදු වන්නේද?”
“ආනන්දය, වන්නේය. ආනන්දය, මේ ධාතුහු සය දෙනෙක් වෙති. සුඛ ධාතු-දුක්ඛ ධාතු-සොමනස්ස ධාතු, දොමනස්ස ධාතු, උපෙක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියායි. ආනන්දය, මේ සය වැදෑරුම් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්රමයකුදු ඇත්තේද?”
“ඇත්තේය, ආනන්දය, මේ ධාතුහු සයදෙනෙක් වෙති. කාම ධාතු-නෙක්ඛම්ම ධාතු-ව්යාපාද ධාතු, අව්යාපාද ධාතු, විභෙසාධාතු, අවිභෙසා ධාතු කියායි. ආනන්දය, මේ ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතුන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්රමයකුදු ඇත්තේද?”
“ආනන්දය, ඇත්තේය. මේ තුන් වැදෑරුම් ධාතූහු වෙත්. කාම ධාතුය, රූප ධාතුය, අරූප ධාතුය කියායි. ආනන්දය, මේ තුන් වැදෑරුම් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවේය” යනුයි.
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවූ අනික් ආකාරයකුදු ඇත්තේද?”
“ආනන්දය, ඇත්තේය. ආනන්දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති. සංකත ධාතුය, අසංකත ධාතුය කියායි. ආනන්දය, මේ ධාතූන් දෙදෙන යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණ කිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු වෙයි.
126. “ස්වාමීනි, කොපමණකින් ආයතනයන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුද?”
“ආනන්දය, මේ අධ්යාත්මික බාහිර ආයතනයෝ සදෙනෙක් වෙති. ඇසද, රූපයද, කණද, ශබ්දයද, නාසයද, ගන්ධයද, දිවද රසයද, කයද, ස්පර්ශයද, සිතද, ධර්මා රම්මණයෝද කියායී. ආනන්දය, මේ සවැදෑරුම්වූ අධ්යාත්මික බාහිර ආයතනයන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, එපමණකින් ආයතනයන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුය.