3. 2. 3.
සප්පුරිස සූත්රය
105. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැන් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, තොපට සත්පුරුෂ ධර්මයද අසත්පුරුෂ ධර්මයද දේශනාකරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දේශනා කරන්නෙමි”යි.
‘ස්වාමීනි, එසේයයි’ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, අසත්පුරුෂ ධර්මය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි අසත්පුරුෂයෙක්තෙම උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. “මම වනාහි උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ වෙමි. මේ අනික් භික්ෂූහු වනාහි උසස් කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙති.” හෙතෙම ඒ උසස් කුලවත්බව නිසා තමා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි. “මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘උසස් කුලවත්බව කරණකොටගෙන ලෝභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. දේවෂ ස්වභාවයෝ (කොපය) හෝ අඩුවීමට නොයෙති. මෝහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයති. ඉදින් උසස් කුලයෙන් නික්ම පැවිදි නොවූ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිළිපැදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්රශංසා කටයුතුවේය කියායි. හෙතෙම ඒ ප්රතිපත්තියම අභ්යන්තරකොට ඒ උසස් කුලවත්බව කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මයකි.
“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ මහා කුලයකින් පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. මම වනාහි මහා කුලයකින් නික්ම පැවිදි වූයේ වෙමි. මේ අනිත් භික්ෂුහු වනාහි මහා කුලයෙන් නික්ම පැවිදි වූවෝ නො වෙත්ය කියායි. හෙතෙම ඒ මහත්වූ කුලවත් බව නිසා තමා උසස් කොට සලකයි. මහණෙනි, මෙය ද අසත්පුරුෂ ධර්මයකි. මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. මහත්වූ කුලවත් බව කරණකොට ගෙණ ලෝභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ද්වේෂස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. මෝහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. ඉදින් මහත් කුලයෙන් නික්ම පැවිදි නොවූ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්රශංසා කළයුතු වේය කියායි. හෙතෙම ප්රතිපත්තියම අභ්යන්තරකොට ඒ මහත් කුලවත් බව කරණකොට ගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනිත මෙයද සත්පුරුෂ ධර්මයකි. මහත් වස්තුව ඇති කුලයකින් නික්ම පැවිදි වූයේ වේ ද, හෙතෙම මෙසේ කල්පනා කරයි. මම වනාහි මහත් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙමි. මේ අනිත් භික්ෂූහු වනාහි මහත් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙත්ය කියායි. හෙතෙම ඒ උසස් වස්තුව ඇති කුලවත් බව නිසා තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙමි. මේ අනික් භික්ෂූහු වනාහි උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ උසස් වස්තුව ඇති කුලවත් බව නිසා තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙය ද අසත්පුරුෂ ධර්මයකි. “මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. උසස් වස්තුව ඇති බැවින් ලෝභ ස්වභාවයෝ අඩුවීමට නොයෙත් ද්වේෂ ස්වභාවයෝ අඩුනොවීමට නොයෙත්. මෝහ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ඉදින් උසස් වස්තුව ඇති කුලයකින් නික්ම පැවිදි නොවූයේ වේද, හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතට පිළිපන්නේ ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්රශංසා කටයුතු වේ කියායි. හෙතෙම ප්රතිපත්තියම අභ්යන්තරකොට ඒ උසස් වස්තුව ඇති බැවින් තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි’ මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.
“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ ප්රසිද්ධ වූයේ පිරිවර ඇත්තේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි ප්රසිද්ධ වූයෙම් පිරිවර ඇත්තේ වෙමි. මේ අනික් භික්ෂූහු ප්රසිද්ධ නොවූවෝය. යස පිරිවර ඇත්තෝද නො වෙති,යි’ කියායි. හෙතෙම ඒ ප්රසිද්ධ බව කරණකොට ගෙන තමා උසස්කොට සිතයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත් පුරුෂ ධර්මයකි. “මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘ප්රසිද්ධ බව කරණකොටගෙන ලෝභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ද්වේෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. මෝහ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ඉදින් අප්රකටවූ පිරිවර නැත්තේ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්රශංසා කටයුතු වේ කියායි. හෙතෙම ප්රතිපත්තියම අභ්යන්තරකොට ඒ ප්රසිද්ධ බැවින් තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.
“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්රත්යය යන සිව්පසය ලබන්නෙක් වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලානප්රත්යය යන සිව්පසය ලබන්නෙම් වෙමි. අනික් භික්ෂූහු එසේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්රත්යය නොලබත්ය’ කියායි. හෙතෙම ඒ ලාභය කරණ කොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි. “මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘ලාභය කරණකොටගෙන ලෝභ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ද්වේෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. මෝහ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ඉදින් චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්රත්යයන් නොලබන්නේ නමුදු, හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතට පිළිපන්නේ ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හේ භික්ෂූන් අතුරෙන් පිදිය යුතුවේ’ හේ භික්ෂූන් අතුරෙන් ප්රශංසා කටයුතුවේ. හෙතෙම ප්රතිපත්තියම අභ්යන්තරකොට ඒ ලාභය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.
“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි බහුශ්රැත වෙමි. මේ අන්ය භික්ෂූහු බහුශ්රැතයෝ නොවෙතියි’ කියායි. හෙතෙම ඒ බහුශ්රැත බැවින් තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි. “මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. බහුශ්රැත බව කරණකොටගෙන ලෝභ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. ද්වේෂ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. මෝහ ස්වභාවයෝ පිරිහීමට නොයෙති. ඉදින් බහුශ්රැත නොවූයේ නමුදු, හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්රශංසා කටයුතුවේ’ කියායි. හෙතෙම ප්රතිපත්තියම අභ්යන්තරකොට ඒ බහුශ්රැත බව කරණකොටගෙන තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.