3. 2. 2.
ඡබ්බ සොධන සූත්රය
98. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතනම් රජකුමරුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂුහු ‘ස්වාමීනි’ යි. භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තෙම නැවත නැවත ඉපදීම ක්ෂය විය. බ්රාහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. කටයුතු දෑ කොට අවසානය, මත්තෙහි කළයුතු අනිකක් නැතැයි, දනිමි කියා රහත් බව ප්රකාශ කෙරේද, මහණෙනි, ඔහුගේ කීමට භික්ෂූහු නොම සතුටු විය යුතුය, ප්රතික්ෂෙපද නොකළ යුතුය. සතුටු නොවී බැහැරද නොකොට ප්රශ්නයක් ඇසිය යුතුය: “ඇවැත්නි, භාග්යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ ඒ සම්යක් සම්බුදුරජාණන් වහන්සේ මැනවින් ප්රකාශ කරණලද මේ ව්යවහාරයෝ සතර දෙනෙකි. ඒ සතර කුමක්ද? දක්නාලද දෙය දක්නාලද පරිදි කීමය, අසනලද දෙය අසනලද පරිදි කීමය, (නාසය, දිව, ශරීරය යන මෙයින්) දැන ගන්නාලද දෙය දැන ගන්නා ලද පරිදි කීමය, (මනසින්) දැනගන්නාලද දෙය දැනගන්නා ලද පරිදි කීමය යනුයි.
“ඇවැත්නි, සියල්ල දන්නාවූ, සියල්ල නුවණින් දක්නාවූ, භාග්යවත්වූ, අර්හත්වූ, ඒ සම්යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්රකාශ කරණලද මේ ව්යවහාරයෝ සතර වෙති. මේ සතර ව්යවහාරයන්හි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්රවයන්ගෙන් මිදුනේද? කියායි. “මහණෙනි, ආශ්රවයන් ක්ෂය කළාවූ වැසනිමවනලද බ්රහ්මචර්ය්යාව ඇති කටයුතු දෑ කොට අවසන්වූ බහා තබනලද බර ඇති, පැමිණි ස්වකීයාර්ථ ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීමෙහි මේ ආකාරවෙයි: ඇවැත්නි, මම දක්නාලද දෙයෙහි වනාහි (රාගවශයෙන්) නොපැමින්නේ, (ද්වේෂවශයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලුනේ (ඡන්දරාගයෙන්) නොබැඳුනේ (කාම රාගයෙන්) මිදුනේ සියළු කෙලසුන්ගෙන් වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මම අසනලද දෙයෙහිද ඇලීම් වශයෙන් නොපැමිණෙන්නේ කිපීම් වශයෙන් ඉවත් නොවන්නේ, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකෙළේ, කාම රාගයෙන් නොබැඳුනේ ඡන්දරාගයෙන් මිදුනේ, කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මම නාසය, දිව, සිරුර යන මේ දොරටු වලින් දැනගන්නාලද දෙයෙහිද ඇලීම් වශයෙන් නොපැමිණෙන්නේ කිපීම් වශයෙන් ඉවත් නොවන්නේ, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකෙළේ කාමරාගයෙන් ඡන්දරාගයෙන් නොබැඳුනේ මිදුනේ, කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණ ලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මම සිතින් දැන ගන්නාලද දෙයෙහිද (රාගවශයෙන්) නොඑළඹෙන්නේ (ද්වේෂයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්දරාගයෙන්) නොබැඳුනේ (කාමරාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මේ සතර ව්යවහාරයන්හි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්රවයන් කෙරෙන් මිදුනේ වෙයි කියායි.
“මහණෙනි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු වියයුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව (මුල් ප්රශ්නයෙන් සෑහීමට පත්නොවේ නම්) මතුද ප්රශ්නයක්, ඇසිය යුතුයි: 99. ඇවැත්නි, භාග්යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්රකාශ කරණලද මේ උපාදානස්කන්ධ පසෙකි. ඒ කවර පසෙක්දයත්? රූපඋපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාරඋපාදාන ස්කන්ධ විඥාන උපාදානස්කන්ධය යන මේ පසයි. ඇවැත්නි, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ භාග්යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්යක් සම්බුද්ධ රජාණන් වහන්සේ විසින් මැනැවින් ප්රකාශ කරණ ලදහ. මේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි කෙසේ දන්නාවූ
කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන ආශ්රවයන්ගෙන් මිදුනේද කියායි. “මහණෙනි, ක්ෂීණාශ්රවවූ, වැස නිමවනලද බ්රහ්මචර්ය්යා ඇති කටයුතු දැ කොට අවසන්වූ, බහා තබනලද බර ඇති පැමිණි තමන්ගේ අර්ථය ඇති, ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාර වෙයි. “ඇවැත්නි, මම වනාහි රූපය දුර්වලය නො ඇලිය යුත්තක අස්වැසිලි රහිතවූවකැයි දැන රූපයෙහි මමය මාගේ යයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැසගැනීමය, අනුසය වශයෙන් පැවැත්මයි කියනලද මේ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි වේදනාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූ වෙකැයි දැන වේදනාවෙහි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දාෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි සංඥාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවෙකැයි දැන, සංඥාවෙහි මමය මගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි සංස්කාරයන් දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූයෙකැයි දැන සංස්කාරයන්හි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැස ගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ, යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ යයි දනිමි. ඇවැත්නි, මම වනාහි විඤ්ඤාණය දුර්වලය, නො ඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවකැයි දැන විඤ්ඤාණයෙහි මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තාෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. “ඇවැත්නි, මෙසේ වනාහි පඤ්චඋපාදානස්කන්ධයන් කෙරෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්රවයන් කෙරෙන් මිදුනේය. කියායි.
“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව (එම ප්රශ්නයෙන්ද සෑහීමට පත් නොවේ නම්) මතුද ප්රශ්නයක් ඇසිය යුතුයි: 100. “ඇවැත්නි, භාග්යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ ඒ සම්යක් සම්බුදුරජානන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්රකාශ කරණලදී. කවර නම් සයක්ද යත්? පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය යන සයයි. ඇවැත්නි, භාග්යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත් වූ, ඒ සම්යක් සම්බුදුරාජාණන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්රකාශ කරණලදහ. “මේ ධාතු සයෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තාෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්රවයන්ගෙන් මිදුනේද කියායි. “මහණෙනි ක්ෂීණාශ්රවවූ වැස නිමවනලද බ්රහ්මචර්ය්යා ඇති කටයුතු දැ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාරවේ. ‘ඇවැත්නි, මම වනාහි පඨවි ධාතුව තමා නොවේයයි නුවණින් බැස ගතිමි. පඨවි ධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. පඨවි ධාතුව ඇසුරුකොට පවත්නා මමය මාගේ යයි ගන්නාවූ චිත්තයාගේ සිටීමය, ඇතුළත් වීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැළැක්මෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි. “ඇවැත්නි, මම වනාහි ආපෝධාතුව ආත්මයයි නො ගනිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටන්නාවූ, බැසගන්නාවූ, අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත ‘මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි තෙජෝධාතුව ආත්මයයි නොගතිමි තෙජො ධාතුව ඇසුරුකොටද, ආත්මයක් ඇතැයි නොගතිමි. තේජෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. තේජෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. තේජෝධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැසගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි. ඇවැත්නි, මම වනාහි වායෝධාතුව ආත්මයයි නොගනිමි. වයෝධාතුව ඇසුරුකොටද, ආත්මයක් ඇතැයි නොගතිමි. වායෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. වායෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. වායෝධාතුව ඇසුරුකොට මමය මාගේ යයි සිත පිහිටන්නාවූ බැසගන්නා වූ අනුශය වශයෙන් පවත්නාවූ, යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි ආකාස ධාතුව ආත්මයයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොටද, ආත්මයක් ඇතැයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගනිමි. ආකාස ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැස ගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. “ඇවැත්නි, මම වනාහි විඤ්ඤාණධාතුව තමා නොවේයයි නුවණින් බැසගතිමි. විඤ්ඤාණධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. විඤ්ඤාණධාතුව ඇසුරුකොට පවත්නා මමය මාගේයයි ගන්නා චිත්තයාගේ ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන්, අත්හැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි. “ඇවැත්නි, මෙසේ වනාහි මේ ධාතු සයෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.