3. 2. 1.
අනුපද සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජෙත නම් රජකුමරහුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවනලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩ වසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළසේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’යි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, ශාරීපුත්ර තෙමේ (ධාතු-ආයතන-පටිච්චසමුප්පාද-ඨානාඨාන යන මේ සතර කරුණෙහි දක්ෂ බැවින්) පණ්ඩිතයෙක මහණෙනි, ශාරීපුත්ර තෙමේ (මහත්වූ සීල ස්කන්ධාදිය පිරිසිඳ දන්නා බැවින්) මහත් නුවණ ඇත්තෙක. මහණෙනි, ශාරිපුත්ර තෙමේ වෙන් වෙන්වූ ස්කන්ධාදිය දන්නා නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්ර තෙමේ බොහෝ සතුටින් ශීලාදිය සම්පූර්ණ කරන නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්ර තෙමේ වහා අවබෝධ කරන නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්ර තෙමේ වහා කෙලෙසුන් සිඳදමන ප්රඥාව ඇත්තෙකි. මහණෙනි, ශාරීපුත්ර තෙමේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම් බහුල ප්රඥාව ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්ර තෙමේ අඩමසක් මුළුල්ලෙහි (සමාපත්ති වශයෙන්ද ධ්යානාංග වශයෙන්ද) අනුපිළිවෙළින් ධර්මයන් ත්රිලක්ෂණයට නගා බැලීය. මහණෙනි, ශාරිපුත්රයන්ගේ ඒ අනුපිළිවෙළින් ධර්මයන් බැලීම මේ ආකාරයෙන් වෙයි.
මහණෙනි, ශාරීපුත්ර තෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්රීතිසුඛය ඇති පළමුවෙනි ධ්යානයට පැමිණ වෙසෙයි. ඒ ප්රථම ධ්යානයෙහි විතර්කය, විචාරය, ප්රීතිය, සුඛය, එකාග්රතාය, ස්පර්ශය, වේදනාය, සංඥාය, චෙතනාය, චිත්තය, ඡන්දය, අධිමොක්ෂය වීර්ය්යය, ස්මෘතිය, උපෙක්ෂාය, මනසිකාරය යන යම් ධර්ම කෙණෙක් වෙද්දත ඒ ධර්මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ප්රකටවම උපදිත්. ප්රකටවම පවතිත්. ප්රකටවම නිරුද්ධ වෙති. හෙතෙම මෙසේ දැනගනී. මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) නොපැවත (අලුතෙන්) ඇතිවෙත්. ඇතිවී නැතිවෙත් කියායි. හෙතෙම ඒ ධර්මයන් කෙරෙහි රාග වශයෙන් නොපැමිණෙන්නේ (ද්වේෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියලු කෙලෙසුන් ගෙන්) වෙන් වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරනලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂ අධිගමය ඇත්තේයයි ඔහුට දැඩිව අදහස් වේ.
තවද මහණෙනි, ශාරිපුත්ර තෙමේ විතක්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් සිතේ පැහැදීම ඇත්තාවූ, සිතේ එකඟ බව ඇත්තාවූ, විතර්ක විචාර නැත්තාවූ, සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ද්විතීය ධ්යානයට පැමිණ වෙසේ. ඒ ද්විතීය ධ්යානයෙහි සිතේ පැහැදීමය, ප්රීතියය, සුඛයය, සිතෙහි එකඟ බවය, ස්පර්ශය, වේදනාවය, සංඥාවය, චෙතනාය, චිත්තය, ඡන්දය, අධිමොක්ෂය, වීර්ය්යය, ස්මෘතිය, උපෙක්ෂාවය, මනසිකාරය යන යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයෝ ඔහු විසින් අනුපිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්රකටව උපදිත්. ප්රකටව පවතිත්. ප්රකටව නිරුද්ධ වෙති. හෙතෙම මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අලුතෙන්) ඇතිවෙත්. ඇතිවී නැතිවෙත්’ කියායි. හෙතෙම ඒ ධර්මයන් කෙරෙහි (රාග වශයෙන්) ගෙන නොපැමිණෙන්නේ, (ද්වේෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන් වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරනලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන විශේෂාධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂාධිගම ඇත්තේමය යන සිත ඔහුට දැඩිව ඇති වෙයි
තවද මහණෙනි, ශාරීපුත්ර තෙම ප්රීතියෙනුදු වෙන් වීමෙන් උපෙක්ෂා සහිත වූයේ වෙසෙයි. සිහි ඇත්තේ යහපත් ප්රඥාවෙන් යුක්තවූයේ ඒ සැපය කයින්ද විඳී. ආර්ය්යයෝ යම් ධ්යානයක් උපෙක්ෂා සහිතවූ සිහියෙන් යුත් සැප විහරණයයි කියත්ද, ඒ තෘතීය ධ්යානයට පැමිණ වෙසේ. ඒ තෘතීය ධ්යානයෙහිවූ සුඛය, සතිය, ප්රඥාවය, සිතේ එකඟ බවය, ස්පර්ශය, වේදනාවය, සංඥාවය, චෙතනාවය, චිත්තය, ඡන්දය, අධිමොක්ෂය, වීර්ය්යය, සතිය, උපෙක්ෂාවය, මනසිකාරය යන යම් ධර්මකෙනෙක් වෙද්ද, ඒ ධර්මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්රකටව උපදිත්. ප්රකටව පවතිත්. ප්රකටව නිරුද්ධ වෙත්. හෙතෙම මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී, (අළුතෙන්) ඇතිවෙත්ය. ඇතිවී නැතිවෙත්ය.’ කියායි. හෙතෙම ඒ ධර්මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වේෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරනලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මීට වඩා උසස් අනතුරුව පැමිණෙන විශේෂාධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන විශේෂාධිගම ඇත්තේමයයි ඔහුට දැඩිව අදහස් වේ.
තවද මහණෙනි, ශාරිපුත්ර තෙමේ සුඛයද පහකිරීමෙන්, දුඃඛයද පහකිරීමෙන්, සොම්නස් දොම්නස් දෙදෙනාගේ පළමුකොටම නැති කිරීමෙන්, දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවෙන් යුත් සිහියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්යානයට පැමිණ වෙසෙයි. ඒ චතුර්ථ ධ්යානයෙහි උපෙක්ෂාවයයි කියන ලද දුක්ද නොවූ සුවද නොවූ වේදනාවය. සිතේ පැහැදීම ඇති හෙයින් සිතින් තෘතීය ධ්යානයෙහිවූ සැපය මෙනෙහි නොකරන බවද, ස්පර්ශයද, වේදනාවද, සංඥාවද, චෙතනාවද, චිත්තයද, ඡන්දයද, අධිමොක්ෂයද, වීර්ය්යයද, ස්මෘතියද, උපෙක්ෂාවද, මනසිකාරයද යන යම් ධර්මකෙනෙක් වෙත්ද, ඒ ධර්මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්රකටව උපදිත්. ප්රකටව පවතිත්. ප්රකටව නිරුද්ධ වෙත්. හෙතෙම මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අළුතෙන්) ඇති වෙති. ඇතිවී නැති වෙති.’ කියායි. හෙතෙම ඒ ධර්මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වේෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියලු කෙලෙසුන්ගෙන්) වෙන් වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරනලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මීට වඩා උසස් අනතුරුව පැමිණෙන විශේෂාධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන විශේෂාධිගමයක් ඇත්තේමයයි ඔහුට දැඩිව අදහස් වේ.