3. 1. 9.
මහාපුණ්ණම සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාරමාතු ප්රාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පූර්ණ චන්ද්රයාගෙන් යුක්තවූ රාත්රියෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ අභ්යවකාශයෙහි (එළිමහනෙහි) වැඩහුන් සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුනමක් හුනස්නෙන් නැගිට සිවුර ඒකාංශ කොට භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිළි බැඳගෙන භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ඉදින් භාග්යවතුන් වහන්සේ ප්රශ්නයක් විචාරනු ලැබීමට මට අවකාශ කෙරේ නම්, මම භාග්යවතුන් වහන්සේගෙන් කිසියම් කාරණයක් විචාරන්නෙමි” යනුයි.
“එසේ වී නම් මහණ, තෝ තමාගේ අසුනෙහි හිඳගෙන යමක් කැමැත්තෙහි නම් විචාරව”යි.
එකල්හි ඒ භික්ෂු තෙම සිය අසුනෙහි හිඳගෙන භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය:
“ස්වාමීනි, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ ද? එනම්: රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි.
“මහණ, මොහු පඤ්ච උපාදානස්කන්ධයෝ ය. එනම්: රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යි.
“ස්වාමීනි, යහපතැ”යි කියා ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව භාග්යවතුන් වහන්සේගෙන් මතු ද ප්රශ්නයක් විචාළේය.
“ස්වාමීනි, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු ද?”
“මහණ, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ ඡන්දය (කැමැත්ත) මුල් කොට ඇත්තාහු ය”යි.
“ස්වාමීනි, ඒ පඤ්ච උපාදානස්කන්ධයෝ ම උපාදානය ද? නොහොත් පඤ්ච උපාදානස්කන්ධයන්ගෙන් අන්යවූ උපාදානයක් ඇත්තේ දැ”යි?
“මහණ, ඒ පඤ්ච උපාදානස්කන්ධයෝ ම උපාදානය නො වෙති. පඤ්ච උපාදානස්කන්ධයන්ගෙන් අන්ය වූ උපාදානයක් ද නැත. පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි යම් ඡන්දරාගයක් (කැමැත්තෙන් ඇලීමක්) වේ ද, එය එහි උපාදානය යි.”
“ස්වාමීනි, පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි ඡන්දරාගයාගේ (කැමැත්තෙන් ඇලීමේ) නානාභාවයක් (වෙනස් බවක්) වන්නේ දැ”යි?
“මහණ, වන්නේ ය”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. “මහණ, මේ ලෝකයෙහි ඇතැමෙකුට මෙබඳු සිතක් වෙයි: ‘මතු කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමි’ යි. මහණ, මෙසේ වනාහි පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි ඡන්දරාගයාගේ (කැමැත්තෙන් ඇලීමේ) නානාභාවය වන්නේ ය”යි.
“ස්වාමීනි, කොපමණකින් වනාහි ස්කන්ධයන්ට ‘ස්කන්ධ’ යන නම වන්නේ දැ”යි?
“මහණ, යම් කිසි රූපයක් අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද, අධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ ප්රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ වේ ද, මේ ‘රූපස්කන්ධ’ නම් වේ. යම් කිසි වේදනාවක් අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද... මේ ‘වේදනාස්කන්ධ’ නම් වේ. යම් කිසි සංඥාවක් අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද... මේ ‘සංඥාස්කන්ධ’ නම් වේ. යම් කිසි සංස්කාර කෙනෙක් අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද... මේ ‘සංස්කාරස්කන්ධ’ නම් වේ. යම් කිසි විඤ්ඤාණයක් අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද, අධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ ප්රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ වේ ද, මේ ‘විඤ්ඤාණස්කන්ධ’ නම් වේ. මහණ, මෙපමණකින් වනාහි ස්කන්ධයන්ට ‘ස්කන්ධ’ යන නම වේ ය”යි.
“ස්වාමීනි, රූපස්කන්ධය පැනවීමට හේතුව කවරේ ද? ප්රත්යය කවරේ ද? වේදනාස්කන්ධය පැනවීමට හේතුව කවරේ ද? ප්රත්යය කවරේ ද? සංඥාස්කන්ධය පැනවීමට හේතුව කවරේ ද? ප්රත්යය කවරේ ද? සංස්කාරස්කන්ධය පැනවීමට හේතුව කවරේ ද? ප්රත්යය කවරේ ද? විඤ්ඤාණස්කන්ධය පැනවීමට හේතුව කවරේ ද? ප්රත්යය කවරේ දැ”යි?
“මහණ, රූපස්කන්ධය පැනවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්රත්යය වෙති. වේදනාස්කන්ධය පැනවීමට ඵස්සය හේතු වෙයි, ඵස්සය ප්රත්යය වෙයි. සංඥාස්කන්ධය පැනවීමට ඵස්සය හේතු වෙයි, ඵස්සය ප්රත්යය වෙයි. සංස්කාරස්කන්ධය පැනවීමට ඵස්සය හේතු වෙයි, ඵස්සය ප්රත්යය වෙයි. මහණ, විඤ්ඤාණස්කන්ධය පැනවීමට නාමරූප හේතු වෙයි, නාමරූප ප්රත්යය වේ ය”යි.
“ස්වාමීනි, කෙසේ නම් සක්කායදිට්ඨිය (ආත්ම දෘෂ්ටිය) වේ දැ”යි?
“මහණ, මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නා වූ, ආර්යධර්මයෙහි අදක්ෂ වූ, ආර්යධර්මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ, සත්පුරුෂධර්මයෙහි අවිනීත වූ, අශ්රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මය වශයෙන් දකියි; නැතහොත් රූපය ඇත්තා වූ ආත්මය දකියි; නැතහොත් ආත්මය කෙරෙහි රූපය දකියි; නැතහොත් රූපය කෙරෙහි ආත්මය දකියි. වේදනාව ආත්මය වශයෙන් දකියි; නැතහොත් වේදනාව ඇත්තා වූ ආත්මය දකියි; නැතහොත් ආත්මය කෙරෙහි වේදනාව දකියි; නැතහොත් වේදනාව කෙරෙහි ආත්මය දකියි. සංඥාව ආත්මය වශයෙන් දකියි; නැතහොත් සංඥාව ඇත්තා වූ ආත්මය දකියි; නැතහොත් ආත්මය කෙරෙහි සංඥාව දකියි; නැතහොත් සංඥාව කෙරෙහි ආත්මය දකියි. සංස්කාරයන් ආත්මය වශයෙන් දකියි; නැතහොත් සංස්කාරයන් ඇත්තා වූ ආත්මය දකියි; නැතහොත් ආත්මය කෙරෙහි සංස්කාරයන් දකියි; නැතහොත් සංස්කාරයන් කෙරෙහි ආත්මය දකියි. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි; නැතහොත් විඤ්ඤාණය ඇත්තා වූ ආත්මය දකියි; නැතහොත් ආත්මය කෙරෙහි විඤ්ඤාණය දකියි; නැතහොත් විඤ්ඤාණය කෙරෙහි ආත්මය දකියි. මහණ, මෙසේ වනාහි සක්කායදිට්ඨිය වේ ය”යි.