3. 1. 10.
චූල පුණ්ණමා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම්වූ පූර්වාරාමයෙහි වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පිරුණාවූ සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩහුන්නේ වෙයි. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භික්ෂූන්ට කථාකළ සේක:
“මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දන්නේදැයි?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි යහපත, මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත්තෙම අසත්පුරුෂායයි, අසත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් ඇද්ද? මීට කරුණු නැත්තේය. අවකාශයක් නැත්තේය.”
“මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැනගන්නේද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි, මැනව. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි සත්පුරුෂයා දැනගන්නේය යන යමක් ඇද්ද, මෙයටද කරුණු නැත්තේය. අවකාශ නැත්තේය.”
“මහණෙනි, අසත්පුරුෂතෙම පාපි ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි. අසත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි. අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි. අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි. අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. අසත්පුරුෂයන් විසින් දියයුතු දානය දෙයි.”
“මහණෙනි, කෙසේනම්, අසත්පුරුෂතෙම පාප ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම ශ්‍රද්ධාව නැත්තේ වෙයි. පවට ලජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ඇසූ පිරූ තැන් නැත්තේ වෙයි. කුසීත වෙයි, මුලා සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාව නැත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම පාපධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂතෙම, අසත්පුරුෂයන් සේවනය කරන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව නැත්තාහු පවට ලජ්ජා නැත්තාහු, පවට භය නැත්තාහු, අල්පශ්‍රැතවූවාහු කුසීතවූවාහු, මුලා සිහි ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු වෙත්ද, ඔව්හු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂ තෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්හට දුක් පිණිසද සිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිසද සිතයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත් පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත් පුරුෂ තෙම තමහට දුක් පිණිසද කථා කරයි. අනුන්හට දුක් පිණිසද කථා කරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. ඵරුෂ වචන කියන්නේ වෙයි. ප්‍රලාප කියන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘දුන් දානයෙහි විපාක නැත. රැකි ශීලයෙහි විපාක නැත. කළ පූජාවෙහි විපාක නැත. යහපත්ව කරන ලද අයහපත්ව කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත්තේය. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට කරන ලද හොඳ නරකවල විපාක නැත. පියාට කරන ලද හොඳ නරකවල විපාක නැත. මැරී පරලොව උපදින සත්වයන් නැත. යමෙක් තුමූ මෙලොව ද, පරලොවද, තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳු වූ යහපත් බවට පැමිණියාවූ මනාව පිළිපන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත’ යන දෘෂ්ටි ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.”
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම සකස් නොකොට දානය දෙයි. සිය අතින් දානය නො දෙයි. සිතින් ආදර නොකොට දානය දෙයි. දමා ගැසූ දෙයක් මෙන් දානය දෙයි. මතු අනුසස් නො දක්නේ දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දානය දෙයි.”
“මහණෙනි, ඒ මේ අසත්පුරුෂ තෙම වනාහි මෙසේ පාපධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ අසත්පුරුෂ සේවනය ඇත්තේ මෙසේ අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ මෙසේ අසත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ අසත්පුරුෂ වචන ඇත්තේ මෙසේ අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දානාදී ශරීරයාගේ භේදයෙන් මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, අසත්පුරුෂයන් ගේ ගතිය කවරීද? නරකය හෝ තිරිසන් යෝනිය හෝ වේ.”
“මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැන ගන්නේද?”
“ස්වාමීනි, එසේය.”