3. 1. 8.
ගොපකමොග්ගල්ලාන සූත්‍රය
79. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ වෙළුවනාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපතිවූ අජාත ශතෘ නම් රජ තෙම පජ්ජොත රජගැන සැක කොට රජගහ නුවර ප්‍රතිසංස්කරණය කරවයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිව්රු ගෙණ රජගහ නුවරට පිඩු පිණිස වැඩියේය.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට තවම රජගහ නුවර පිඩුපිණිස හැසිරීමට කල්වැඩිය. මම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ කර්මාන්තය (වැඩපොල) යම් තැනෙක් හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයා යම් තැනෙක් හිද, එතැනට යන්නෙම් නම් හොඳයයි අදහස්විය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේ එන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීවේය:
‘පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ මෙහි එත්වා, පින්වත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පැමිණීම යහපත්ය. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ බොහෝ කලකින් මෙහි පැමිණියේය. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ වැඩ හිඳිනු මැනව. මේ ආසනය පනවනලදැයි” කීය. ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම පනවන ද ආසනයෙහි වැඩ උන්නේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙණ එක් පසක උන්නේය. එක්පසක උන්නාවූ ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මෙය කීවේය:
“ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්ත වූයේ අර්හත් සම්‍යක්සම්බුද්ධවූයේද, සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවක්වත් ඇත්තේ දැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්ගය උපදවන්නෙකි. නොහටගත් මාර්ගය හටගන්වන්නෙකි. නොකියනලද මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙක. මාර්ගයෙහි දක්ෂයෙක, පසුව ධර්මයෙන් යුක්තවූ මාර්ගයට අනුව ගමන් කරන්නාවූ ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙත්යයි” කීය.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේත් මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර පැවති මේ කථාව කොට නිමවන ලද්දී වේ. එකල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම රජගහ නුවර කර්මාන්තයන් පරීක්ෂාකර බලමින් යන්නේ, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට නිමවා එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් “භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? නුඹවහන්සේලා අතර කිනම් කථාවක් කොට නිම කරණ ලද්දීදැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, මෙහි මාගෙන් ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ‘භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූ සේක්ද සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක් භික්ෂුවක්වත් ඇත්තේ දැයි ඇසීය. බ්‍රාහ්මණය, මෙසේ කී කල්හි මම ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මෙය කීවෙමි. “බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවකුත් නැත්තේමය, බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන්නාවූ මාර්ගය උපද වන්නෙකි. නොහට ගත්තාවූ මාර්ගය හටගන්වන්නෙකි. නොකියන ලද්දාවූ මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙක, මාර්ගයෙහි දක්ෂයෙකි. පසුව ධර්මයෙන් යුක්තවූ මාර්ගය අනුව ගමන් කරන්නාවූද, ශ්‍රාවකයෝ මෙකල්හි වාසය කෙරෙත්යයි,’ කීවෙමි. බ්‍රාහ්මණය අපත් ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර මේ කථාව කොට නිමවනලදී. එකල්හි ඔබ පැමිණියෙහියයි,” කීය.
80. “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද දැන් නුඹවහන්සේලා අනුගමනය කරන්නාවූ එක් භික්ෂුවක්වත් ඇත්තේද? ගෞතමයන් වහන්සේ විසින් තබනලද එබඳු එක භික්ෂු නමකුත් ඇත්තේද?”
‘බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, ඒ දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද්දාවූ, දැන් අප අනුගමනය කරන්නාවූ, එබඳුවූ එක භික්ෂුවකුත් නැත්තේ මැයි.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණ ලද්දාවූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද්දාවූ දැන් නුඹවහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්ෂුවක්වත් ඇත්දැයි,” (ඇසූයේය.)
“බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ, ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි. සංඝයා විසින් සම්මත කරණ ලද්දාවූ බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද්දාවූ, දැන් අප යමකු අනුව ගමන් කරන්නාවූ එක භික්ෂු නමකුත් නැත්තේමය.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේද?”
“බ්‍රාහ්මණය අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්මය පිළිසරණකොට ඇත්තෝ වෙමුයි,” කීය.