3. 1. 7.
ගණකමොග්ගල්ලාන සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි ‘ගණක මොග්ගල්ලාන’ නම් බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ගණක මොග්ගල්ලාන නම් බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය:
“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ මේ මිගාරමාතු පාසාදයාගේ අන්තිම හිණිපෙත්ත දක්වා පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් දක්නා ලැබේද, භවත් ගෞතමයන් වහන්ස, එමෙන් මේ බ්රාහ්මණයන්ගේ මන්ත්ර ඉගෙණීමෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, මේ දුනු ශිල්පයෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, ගණන් ශාස්ත්රයෙන් ජීවත්වන්නාවූ අපගේ ගණන් ශාස්ත්රයෙහිද පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ගෝලයන් ලැබ පළමුකොට මෙසේ ගණන් කරවමු. එක, එකය. දෙක, දෙකය. තුන, තුනය. හතර, හතරය. පහ, පහය. හය, හයය. හත, හතය. අට, අටය. නවය, නවයය. දසය, දසයය. මෙසේ භවත් ගෞතමයන් වහන්ස, අපි සියයටද ගණන් කරවමු. භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්ම විනයෙහිද, එසේ පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් පෙන්විය හැක්කේද?”
“බ්රාහ්මණය, මේ ධර්ම විනයෙහි පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, පෙන්විය හැක්කේය. බ්රාහ්මණය, යම්සේ දක්ෂවූ අශ්වයන් හික්මවන්නෙක් යහපත්වූ අජානීය අශ්වයෙකු ලැබ පළමුකොටම කටකලියාවට පුරුදු කරවයිද, ඉක්බිති මත්තෙහි කටයුතු පුරුදු කරවයිද, බ්රාහ්මණය, එපරිද්දෙන්ම තථාගත තෙම දමනය කිරීමට සුදුසු පුරුෂයෙකු ලැබ, පළමුකොටම මෙසේ හික්මවන්නේය. ‘මහණ එව. නුඹ සිල්වත් වෙව. ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කරව. සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මෙව’යි.
“බ්රාහ්මණය, භික්ෂුතෙම යම් තැනක පටන් සිල්වත්වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කෙරේද, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේද, තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි: ‘මහණ, එව. නුඹ ඉන්ද්රියයන්හි රක්නාලද දොරටු ඇත්තෙක් වෙව. ඇසින් රූපය දැක නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ චක්ෂුරින්ද්රියයෙහි (ඇසෙහි) සංවර නැතුව වාසය කරන්නහු ලෝභය, ද්වේෂය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. චක්ෂුරින්ද්රිය රකුව. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙව. කණින් ශබ්දය අසා නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ සොතෙන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. සොතෙන්ද්රිය රකුව. සොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙව. නාසයෙන් ගන්ධය ආඝ්රාණය කොට නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ ඝාණෙන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ඝාණෙන්ද්රිය රකුව. ඝාණෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙව. දිවෙන් රසය දැන නිමිතිගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ජිහ්ව ඉන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ජිහ්වෙන්ද්රිය රකුව. ජිහ්ව ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙව. කයින් ස්පර්ශයන් ස්පර්ශකොට නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ස්පර්ශෙන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ස්පර්ශෙන්ද්රිය රකුව. ස්පර්ශෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙව. සිතින් ධර්මය දැන නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යමක් හේතුකොටගෙන මනින්ද්රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභය, ද්වේෂය, යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වැහෙන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. මනින්ද්රිය රකුව. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙව’යි.
“බ්රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම ඉඳුරන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ භොජනයෙහි පමණ දක්නෙක් වෙව. නුවණින් සලකා ආහාරය ගණුව. ක්රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලංකාර කිරීම පිණිස නොවේ. යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස විහිංසා වැලැක්ම පිණිස බ්රහ්මචර්ය්යාවට අනුග්රහ පිණිස වේ. මෙසේ පැරණිවූ වේදනාවද නසමි. අළුත් වේදනාවද නූපද වන්නෙමි. මාගේ ජීවිත යාත්රාවද නිරවද්ය භාවයද පහසු විහරණයද වන්නේය’යි.
“බ්රාහ්මණය, යම් තැනෙක පටන් මහණතෙම වැළඳීමෙහි පමණ දන්නේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ‘මහණ එව. නුඹ නිදි දුරු කිරීමෙහි යෙදී වාසය කරව. දාවල් දවස සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්රියගේ ප්රථම යාමයෙහි සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්රියගේ මධ්යම යාමය දකුණු පසින් දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්යාවෙන් සයනය කරව. රාත්රියගේ පශ්චිම යාමයෙහි නින්දෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව’යි.
“බ්රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ සිහි නුවණින් යුක්තවූවෙක් වෙව. ඉදිරියට ගමන් කිරීමෙහිද, ආපසු ගමන් කිරීමෙහිද, නුවණින් යුක්තව කරන්නෙක් වෙව. ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූවෙක් වෙව. අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, නුවණින් යුක්තවූවෙක් වෙව. දෙපට සිව්ර හා පා සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූවෙක් වෙව. අනුභව කිරීමෙහි පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි නුවණින් යුක්තවූවෙක් වෙව. මලමුත්ර පහකිරීමෙහි නුවණින් යුක්තවූවෙක් වෙව. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදි දුරුකිරීමෙහි, කීමෙහි, කතා නොකිරීමෙහි නුවණින් යුක්තවූවෙක් වෙව’යි.
“බ්රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම සිහි නුවණින් යුක්තවූයේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි: ‘මහණ, එව. නුඹ විවේක ඇත්තාවූ සේනාසනයක් භජනය කරව. එනම්: අරණ්යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාවය, සොහොනය, වනසෙනසුනය, අභ්යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි.’ හෙතෙම විවේක ඇති සෙනසුනක් භජනය කරයි. අරණ්යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාය, සොහොනය, වනසෙනසුනය, අභ්යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි.
හෙතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පළඟ බැඳගෙන ඍජුව කය පිහිටුවා අරමුණට ඉදිරිපත් කොට සිහිය පිහිටුවා හිඳියි. හෙතෙම ලෝකයෙහි ලෝභය දුරුකොට පහව ගියාවූ විෂම ලෝභය නැති සිතින් යුක්තව වාසය කරයි. ලෝභයෙන් සිත පිරිසිදු කරයි. ද්වේෂය දුරුකොට ද්වේෂ රහිත සිත් ඇත්තේ, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ව්යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහව ගියාවූ ථීනමිද්ධය ඇතිව ආලෝක සංඥා ඇතිව සිහි නුවණ දෙකින් යුක්තව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන් කම හා පසු තැවීම) දුරුකොට සන්සුන්ව තමා කෙරෙහි සංසිඳුනු සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකළ සැක ඇත්තේ කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.