3. 1. 6.
ආනෙඤ්ජ සප්පාය සූත්රය
66. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ම නම්වූ කුරුරට වැස්සන්ගේ නියම් ගමක් වේද, එහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ යි කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනිත වස්තුකාම ක්ලේශ කාමයෝ ඇතිව නැතිවන හෙයින් අනිත්ය යන සාරයක් නැති හෙයින් හිස්ය. විනාශ වන්නාහුය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, මෙය මායාවකින් කරණ ලද්දක් වැනිය. අඥානයන් විසින් මගේය මගේය කියනු ලබන්නාහුය. මෙලොව ඇත්තාවූ යම් මනුෂ්ය කාම ගුණයෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්යකාම ගුණයෝ වෙත්ද, මෙලොව ඇත්තාවූ යම් මනුෂ්ය කාම සංඥාවෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්යකාම සංඥාවෝ වෙත්ද, මේ දෙකොටස මාරයාට යටත් වේ. මෙය මාරයාගේ ස්ථානයවේ. මාරයා දමන කෑම වෙයි. මාරයාගේ කොටු (ගාල්) වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ දැඩි ලෝභයද, ක්රෝධයද, අන්යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආර්ය්ය ශ්රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.
67. “මහණෙනි, එහි ආර්ය්යශ්රාවක තෙම මෙසේ සලකයි. ‘මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාමගුණයෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම ගුණයෝත් වෙත්ද, මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාමසංඥාවෝත් වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද මේ දෙකොටසම මාරයාට යටත්ය. මේ මාරයාගේම ස්ථානයවේ. මේ මාරයා විසින් දමනලද කෑමවේ. මේ මාරයාගේ කොටුව වේ. මේ කාමය අරමුණුකොට මේ සිතෙහි හටගන්නාවූ පවිටුවූ අකුසල්වූ දැඩි ලෝභයෝද, ක්රෝධයෝද අන්යයන්ට වැඩියෙන් කිරීම යයි කියනලද සාරම්භයද පවතිත්. ඔව්හුද මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආර්ය්ය ශ්රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්. මම වනාහි විපුලවූ මහග්ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්නා සිතින් ධ්යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක, මම විපුලවූ මහත් ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්වා සිතින් ධ්යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නාවූ මාගේ යම් සිතෙහි හටගන්නාවූ පවිටුවූ අකුසල්වූ අභිධ්යාවෝද, ව්යපාදයෝද සාරම්භයෝත් වෙත්ද, ඔව්හු නොවන්නාහ. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නොවූ අප්රමාණවූ මොනවට වඩනා ලද්දාවූ සිතක් වන්නේයයි,’ සිතන්නේය. මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසයකරන්නාවූ, ඔහුගේ සිත රහත් බවට හේතුවූ විදර්ශනාවෙහි හෝ ධ්යානයට හේතුවූ උපචාර සමාධියෙහි හෝ පහදියි. මනා පැහැදීම ඇති කල්හි ඉහාත්මයෙහි හෝ කම්පා නොවන ධ්යාන සමාධියට හෝ පැමිණෙයි. ප්රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) නොහොත් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද, එය කුසල චතුර්ථධ්යානයට සමානවූවක් වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවන කම්පා කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්යාන සමාධියට හිතවූ ප්රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. ආර්ය්යශ්රාවක තෙම මෙසේ කල්පනා කරයි. ‘මේආත්මයෙහිවූ යම් කාමයෝත් වෙත්ද, පරලෙව්හිවූ යම් කාමයෝත් වෙත්ද, මේ ආත්මයෙහිවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලෙව්හිවූ යම් කාම සංඥාවෝ වෙත්ද, සතරමහා භුතයෝද සතර මහා භුතයන් නිසා පවත්නා උපාදාය රූපයයි යම්කිසි රූපයක් වේද, මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකාසානඤ්චායතනයට පැමිණෙන හේතුවෙහි පහදියි. පැහැදීම ඇතිකල්හි මේආත්මයෙහි ආකාසානඤ්චායතනයට හෝ පැමිණෙයි. ප්රඥාවෙන් හෝ මිදෙයි, (රහත් වෙයී.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද එය ආකාසානඤ්චායතන කුසල චිත්තයට සමාන වන්නේය යන මේ කාරණය ඇත්තේය. “මහණෙනි, මේ දෙවෙනිවූ කෙලෙසුන්ගෙන් කම්පානොවන ධ්යාන සමාධියට හිතවූ ප්රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය්ය ශ්රාවක තෙම මෙසේ සලකයි. මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, යම් මෙලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපයෝත් වෙත්ද, යම් පරලොවවූ රූපයෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපසංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටස අනිත්යය, යමක් අනිත්යයද, එයට එය සතුටුවන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය, තෘෂ්ණාවෙන් ඇතුළත් කර ගැනීමට නුසුදුසුයයි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන හේතුවෙහි පහදියි. පැහැදීම ඇතිකල්හි හෝ විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණෙයි. ප්රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහු උපදින්නාවූ විපකවිඤ්ඤාණය කුසල විඤ්ඤාණඤ්චායතනයට සමාන වෙයි යන කාරණය ඇත්තේය. මේ තුන්වන කෙළෙසුන්ගෙන් කම්පා නොවන ධ්යාන සමාධියට හිතවූ ප්රතිපදාවයයි කියනු ලැබේ.
68. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය්ය ශ්රාවක තෙම මෙසේ කල්පනා කරයි. ‘මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූපසංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්යාන සංඥාවෝත් වෙත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, යම් ඒ ආකිඤ්චඤ්ඤායතන සමාධියක් වේද, එය ශාන්තය එය ප්රණීත යයි, මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙයි සිත පහදියි. පැහැදීම ඇතිකල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්රඥාවෙන් හෝ මිදෙයි. (රහත්වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නාවූ විපාක විපාකවිඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතන කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවැනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්රතිපදාවයයි කියනු ලැබේ
69. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය්ය ශ්රාවක තෙම ආරණ්යයට පැමිණියේ හෝ වෘක්ෂමූලයට පැමිණියේ හෝ සූණ්යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මෙය මමය යන දෙයකින් හෝ මගේය යන දෙයකින් හෝ සූන්ය වේයයි, මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි, මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ දෙවෙනි අකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්රතිපදාවයයි කියනු ලැබේ.