3. 1. 5.
සුනක්ඛත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි බොහෝවූ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්ෂය කරන ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතයි දනිමුයයි රහත්බව ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම ‘බොහෝවූ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිත ජාතිය ක්ෂය කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමු, කියා අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි’ ඇසුවේමය.
ඉක්බිති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, බොහෝ වූ භික්ෂූන් විසින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි “ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලදි. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමු” කියා අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි, මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් මේ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කටයුතු අනිකක් නැතැයි, දනිමුයිත රහත්බව ප්‍රකාශ කරණ ලද්දාහුද,? ස්වාමීනි, කිමෙක්ද, ඒ භික්ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද නොහොත් මෙහි සමහර භික්ෂූහු අධිමානයෙන් (රහත්ය යන හැඟීමෙන්) ප්‍රකාශ කළාහුදැ?”යි ඇසීය.
“සුනක්ඛත්තය, යම් ඒ භික්ෂූහු මා සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කළාහුද, මෙහි ඇතැම් භික්ෂුහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහු වෙත්. මෙහි ඇතැම් භික්ෂූහු අධිමානයෙන්ද රහත්බව ප්‍රකාශ කළාහු වෙත්මැයි. සුනක්ඛත්තය, එහි යම් ඒ භික්ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද, ඔවුන්ගේ එය එසේම වෙයි යම් ඒ භික්ෂූහු වනාහි අධිමානයෙන් රහත්බව ප්‍රකාශ කළාහුද, සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. සුනක්ඛත්තය, මෙහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. එතකුදු වුවත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ ප්‍රශ්න සදාගෙන තථාගතයන් කරා පැමිණ අසත්. සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමි, යන මෙබඳු අදහසක් වෙයි. එයිනුදු ඔහුගේ සිත වෙනස් වේය කියායි”
“භාග්‍යවතුන් වහන්ස, මෙයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, මෙයට සුදුසු කාලය වේ, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” කීය. සුනක්ඛත්තය, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.
“ස්වාමීනියි” සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පසක් වෙත්. කවර පසක්ද යත්, ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇළුම් උපදවන්නාවූ ඇසින් දතයුතු රූපයෝය. ඉෂ්ට වූ කැමතිවන්නාවූ මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, කණින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, නැහැයෙන් දතයුතු ගන්ධයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් ඇතිකරන්නාවූ, ශරීරයෙන් දැනගතයුතුවූ ස්පර්ශයෝය. සුනක්ඛත්තය, මොහු වනාහි කාමගුණ පස වෙත්.
“සුනක්ඛත්තය, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක්තෙම පඤ්චකාම ගුණයන්හි ඇලුණ පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා වනාහි ඊට සුදුසුවූ කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූ කරුණුම නැවත නැවත සිතන්නේ වෙයි. නැවත නැවත කල්පනා කරන්නේ වෙයි. එබඳු පුරුෂයන්ම සේවනය කරයි. ඔහු සමගම සතුටට පැමිණෙයි. කම්පානොවන යට ධ්‍යාන සය පිළිබඳ කථාවක් කියනු ලබන කල්හි ඇහුන්කන් නොදෙයි. කණ යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එබඳු පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් තමන්ගේ ගමින් හෝ නියම් ගමින් හෝ පිටවී බොහෝ කලක් වාසය කරණ ලද්දේ වේද, හෙතෙම ඒ ගමින් හෝ නියම් ගමින් හෝ බැහැර ගිය නොබෝකල් ඇති එක්තරා පුරුෂයෙකු දක්නේද, හෙතෙම ඒ පුරුෂයාගෙන් ඒ ගමේ හෝ නියම් ගමේ හෝ නිර්භය බවද, සුභික්ෂ බවද, නීරොග බවද අසන්නේය. ඔහුට ඒ පුරුෂතෙම ඒ ගමේ හෝ නියම් ගමේ නිර්භය බවද, සුභික්ෂ බවද, නිරොග බවද කියන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම ඒ පුරුෂයාගේ කීම අසනු කැමැති වන්නේද? කන් යොමු කරන්නේද? දැනගැනීමට සිත එලවන්නේද? ඒ පුරුෂයාත් සේවනය කරන්නේද? ඔහු සමග සතුටටත් පැමිණෙන්නේද?”
“ස්වාමීනි, එසේය.”
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් ඇද්ද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූම කරුණු නැවත නැවත කල්පනා කරයි. නැවත නැවත සලකයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. කම්පා නොවන යට ධ්‍යාන සය පිළිබඳවූ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. හෙතෙම (ලොකාමිසයෙහි) පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් කම්පා නොවන යට ධ්‍යාන සයෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් ඇද්ද ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, යට ධ්‍යානයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ කථාම කරයි. ඊට අනුකූලවූ කරුණුම සිතයි. කල්පනා කරයි. එ වැනි පුරුෂයාම සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. පඤ්චකාම ගුණයන් පිළිබඳ කථා කරනු ලබන කල්හි එය අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එවැනි පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.