3. 1. 4.
සාමගාම සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහිවූ “සාම” නම් ගමෙහි වැඩවසනසේක. එකල්හි වනාහි “නිගණ්ඨනාත” පුත්රතෙම චාපා නම් නුවර නොබෝ දින මැරුනේවෙයි. ඔහුගේ මරණින් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නැමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්රහ කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්, ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි.’ කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි.
නිගණ්ඨනාත පුත්රයාගේ සුදුවත් හඳනාවූ යම් ගිහි ශ්රාවක කෙනෙක් වෙත්ද, ඔව්හුද නිගණ්ඨනාත පුත්රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට කියන ලද්දාවූ නපුරුකොට දන්නා ලද්දාවූ නෛර්ය්යානික නොවූ සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ බිඳුනු පිහිට ඇත්තාවූ පිළිසරණ නැත්තාවූ ධර්ම විනයක යම්සේද එමෙනි.
ඉක්බිති “චුන්ද” සමණුද්දෙස තෙම පාවා නම් නුවර වස් වසන ලද්දේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ චුන්ද සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි නිගණ්ඨනාත පුත්රතෙම පාවා නම් නුවර නොබෝ දින මැරෙන ලද්දේ වෙයි. ඔහුගේ මැරීමෙන් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, මේ ධර්ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල් හරවයි’ එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාත පුත්රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාථ පුත්රයාගේ අතවැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුණු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛර්ය්යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි)”
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම චුන්ද සමණුද්දෙසයන්ට “ඇවැත් චුන්දය, මේ කථා පඬුර භාග්යවතුන් වහන්සේ දක්නා පිණිස ඇත්තේමය. ඇවැත් චුන්දය, යමු භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු පැමිණ මේ කාරණය භාග්යවතුන් වහන්සේට කියන්නෙමුයි” කීය. “ස්වාමීනි, එසේය” කියා චුන්ද නම් සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්ද සමණුද්දෙස තෙමේද, භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසක උන්නාහුය. එකත්පසක උන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ චුන්ද සමණුද්දෙස තෙම මෙසේ කීය. ස්වාමීනි, නිගණ්ඨනාතපුත්ර තෙම පාවා නම් නුවර නොබෝදින මැරුනේය. ඔහුගේ මරණයෙන් පසු බිඳුනාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධවලින් අනින්නාහු වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නඟන ලද්දේය. නිග්රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල්හරවයි, එකම වධයක් මෙන් “නිගණ්ඨනාතපුත්රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාතපුත්රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාතපුත්රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරු කොට දන්නා ලද්දාවූ, නෛර්ය්යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි) “ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. භාග්යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි විවාදයෙක් නොම උපදීවා ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය” කියායි.
“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද, මා විසින් තොපට යම් ධර්ම කෙනෙක් නුවණින් අවබෝධකොට දේශනා කරණ ලද්දාහුද, එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්යක් ප්රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්රියයෝය, පඤ්ච බලයෝය, සප්ත බොධ්යංගයෝය, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය යන මොහුයි. ආනන්දය, නුඹ මේ ධර්මයන්හි වෙන් වෙන් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකු දක්නෙහිද?” “ස්වාමීනි, යම් මේ ධර්මකෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් නුවණින් අවබෝධකොට දැන දේශනා කරන ලද්දාහුද, එනම්ත සතර සතිට්ඨානයෝය, සතර සම්යක් ප්රධානයෝය, සතර ඍද්ධිපාදයෝය, පඤ්චෙන්ද්රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්යංගයෝය, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෝය, (යන මොහුයි.) මේ ධර්මයන්හි වෙනස් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකුදු මම නොදකිමි. “ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔව්හු භාග්යවතුන් වහන්සේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි ආජීවය හේතුකොටගෙන හෝ ප්රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිර තෙමේ කීය.
“ආනන්දය, යම් මේ ආජීවය හේතුකොටගෙන හෝ ප්රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්ර ඇත්තක් වේ. ආනන්දය, මාර්ගයෙහි හෝ ප්රතිපදාවෙහි හෝ සංඝයා කෙරෙහි විවාදයෙන් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.
“ආනන්දය, මේ විවාදයට මුල් කරුණු සයක් වෙත්. කවර සයක්ද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ක්රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ක්රොධ කරන්නෙක් වෛර බැඳගන්නෙක් වේද, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේ පහකිරීම පිණිස උත්සාහ දරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි හටනොගැණීම පිණිස පිළිපදින්නහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.