3. 1. 3.
කින්ති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර “බලිහරණ” නම් වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය:
“මහණෙනි, තොපට මා කෙරෙහි කිම, මෙබඳු සිතක් වේද? ‘ශ්‍රමණ ගෞතම තෙම සිවුරු කරුණු කොටගෙන හෝ ධර්මය දේශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය කරුණු කොටගෙණ ධර්මය දේශනා කෙරේද? ශ්‍රමණ ගෞතම තෙම සෙනසුන් කරුණු කොටගෙණ හෝ ධර්මය දේශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙමේ ඒ ඒ භව සැප ලැබීම කරුණු කොටගෙන හෝ ධර්මය දේශනා කෙරේද?’ කියායි.
“ස්වාමීනි, ‘භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු හේතු කොටගෙන හෝ ධර්මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිණ්ඩපාතය හේතු කොටගෙණ හෝ ධර්මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සෙනාසන හේතු කොටගෙණ හෝ ධර්මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ ඒ භවයෙහි සැප විඳීම හේතු කොටගෙන හෝ ධර්මය දේශනා කරයි, යන මෙබඳු සිතක් අපට ඇති නොවෙයි.”
“මහණෙනි, තොපට වනාහි ‘මා කෙරෙහි සිවුරු හේතු කොටගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කරයි. පිණ්ඩපාතය හේතු කොටගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කරයි. සේනාසන හේතු කොට ගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කරයි. ඒ ඒ භව සැප විඳීම හේතු කොට ගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කෙරේය’ යන මෙබඳු සිතක් තොපට ඇති නොවේ නම් මහණෙනි, මා කෙරෙහි තොපට කෙබඳු සිතක් වේද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේ වේ. අනුකම්පා පිණිස ධර්මය දේශනා කෙරේය යන මෙබඳු සිතක් වන්නේය.”
“මහණෙනි, තොපට මා කෙරෙහි භාග්‍යවත් තෙම අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේය. අනුකම්පාව නිසා ධර්මය දේශනා කෙරේය යන අදහස ඇත්තේය. මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරණ ලද්දාහුදත එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්‍රියෝය, පඤ්චබලයෝය, සප්ත බෞද්ධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය යන මොහුයි. එහි සියල්ලන් විසින්ම සමගිව සතුටුව විවාද නොකරමින් හික්මිය යුතුයි.
“මහණෙනි, සමගිව සතුටුව විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් අභිධර්මයෙහි වෙනස් වාද ඇති භික්ෂූහු දෙදෙනෙක් වන්නාහුද, එහි ඉදින් තොපට ‘මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ද වෙනස්ය, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්යයි, මෙසේ අදහස් වන්නේ, නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද? ඔහු වෙත පැමිණ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත් වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ද, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත් වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන් ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුදත ඔහු වෙත පැමිණ ‘ආයුෂ්මතුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත්හු ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙනුත් වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙනුත් වෙනස්ද එසේ දැනගනිව්. ආයුෂ්මත්හු විවාද නොකෙරෙත්වායි කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්වා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද, වරදවා ගන්නා ලද්දක් වශයෙන් දරා යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුත්තේය.”
“ඉදින් එහි තොපට මේ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථවශයෙන් වෙනස් වේ. ව්‍යඤ්ජන වශයෙන් සම වේයයි සිතෙන්නේද, එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමාන වෙයි. ඒ කීම යම්සේ අර්ථවශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම වනාහි අර්ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමානවේ. ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි, කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. නිවරදකොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදව ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා යමක් ධර්මය වේද, යමක් විනය වේද, එය කිය යුතුයි.”
“ඉදින් එහි තොපට මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ම සමවෙයි. ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේයයි සිතයි නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම වනාහි අර්ථ වශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. එය යම්සේ අර්ථවශයෙන්ම සමවේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. යම් මේ ව්‍යඤ්ජනයක්වේද, එය වනාහි සුළු කරුණකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. අනික් පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථවශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. ආයුෂ්මත්හු එය යම්සේ අර්ථවශයෙන් සමාන වේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේද, එය ඒ ආකාරයෙන් ආයුෂ්මත්හු දැනගනිව්. යම් ඒ ව්‍යඤ්ජනයක් වේද, එය ස්වල්ප කාරණයකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුතුයි.