3. 1. 2.
පඤ්චත්තය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, අනාගතය කල්පනා කරන්නා වූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණන් ඇත්තාහ. ඔව්හු අනාගතය අරභයා නොයෙක් ආකාර දෘෂ්ටි දක්වන්නාවූ වචන ප්‍රකාශ කෙරෙත්. ‘සංඥාවෙන් යුක්තවූ මරණින් පසු නිත්‍යවූ ආත්මයක් ඇතැයි’, මෙසේ සමහරු ප්‍රකාශ කරත්. ‘මරණින් මත්තෙහි සංඥාවෙන් යුක්ත නොවූ මරණින් පසු නිත්‍යවූ ආත්මයක් ඇතැයි’ සමහරු ප්‍රකාශ කරත්. ‘මරණින් පසු සංඥාවක් ඇත්තේද නොවූ, නැත්තේද නොවූ, මරණින් මතු නිත්‍යවූ ආත්මයක් ඇතැයි’ මෙසේ සමහරු කියත්. ඇත්තාවූ සත්වයාගේ මරණින් පසු සිඳීම, වැනසීම, නොහට ගැණීම හෝ පණවත්. මේ ආත්මයෙහි නිවණ හෝ සමහරු ප්‍රකාශ කරත්. මෙසේ මරණින් මතු නිත්‍යව පවත්නා ආත්මය හෝ පණවත්. ඇත්තාවූ සත්වයාගේ මරණින් පසු සිඳීම, නැසීම, නො හට ගැණීම හෝ පණවත්. මේ ආත්මයෙහි නිවණ හෝ සමහරු ප්‍රකාශ කරත්. මෙසේ මේ කරුණු පසක්ව තුනක්වෙත්. තුනක්ව පසක් වෙත්. මේ පඤ්චත්තය පිළිබඳව සංක්ෂෙපයෙන් දැක්වීමයි.
මහණෙනි, ඔවුන් අතුරෙහි යම් මේ මහණ බමුණු කෙනෙක් සංඥාවෙන් යුක්තවූ, මරණින් මතු නිත්‍යවූ, ආත්මය පණවත් ද? ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු රූප ඇත්තාවූ, නිත්‍යවූ, සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ, සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් හෝ පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ අප්‍රමාණ සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්ත ආත්මයක් හෝ පණවත්. මේ කියනලද සංඥා සත ඉක්මවන්ට හැකිවූ සමහරු මේ විඤ්ඤාණ කසිණය, අප්‍රමාණයයි කම්පා නො කළ හැකි යයි සමහරු කියත්. මහණෙනි, ඒ මේ කාරණය තථාගතයන් වහන්සේ දන්නාහ.
යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ, මරණින් මතු නිත්‍යවූ, පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, රූප නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ අප්‍රමාණ සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. මේ රූප සහිත සංඥා අතුරෙන්ද, රූප නැති සංඥා අතුරෙන්ද, එකත්ත සංඥා අතුරෙන්ද නානත්ත සංඥා අතුරෙන්ද, යම් සංඥාවක් පිරිසිදුය, උතුම්ය, අග්‍රය, සියල්ලට වඩා උතුම් යයි කියනු ලැබේද, යම් හෙයකින් රූප සංඥාවක් වේවා, අරූප සංඥාවක් වේවා, ඒකත්ව සංඥාවක් වේවා, නානත්ව සංඥාවක් වේවා, ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය සමහරු අප්‍රමාණ යයි ආනෙඤ්ජ යයි කියත්. එය ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයවූ නිවන ඇත්තේම ය. ඒ නිවන ඇත්තේය යි එසේ දැන ඒ සංස්කාරයන්ගේ නික්මීම දක්නා තථාගත තෙමේ ඒ සංස්කාරයන් ඉක්මවූයේ වෙයි.
මහණෙනි, ඒ වාද අතුරෙන් යම් මේ මහණ බමුණ කෙනෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ, රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත් ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ ද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්. මහණෙනි, ඒ වාද අතුරෙහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද, සමහරු ඔවුන් බැහැර කෙරෙත්. ඊට හේතු කවරේද? සංඥාව රොගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි යම් මේ සංඥා රහිත බවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය යි ඔව්හු සිතත්. මහණෙනි, තථාගත තෙමේ මෙය විශිෂ්ට කොට දන්නේය.
යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාව නැත්තාවූ ආත්මය, පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැති මරණින් මත්තෙහි නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, නැත්තේත් නොවන්නාවූද, මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මම රූපයෙන් වෙන්ව වේදනාවෙන් වෙන්ව, සංඥාවෙන් වෙන්ව, සංස්කාරයන්ගෙන් වෙන්ව, විඤ්ඤාණයාගේ ඊම හෝ යාම හෝ චුතවීම හෝ ඉපදීම හෝ වැඩීම හෝ නැගීම හෝ මහත්වීම හෝ පණවන්නෙමියි.’ මෙසේ කියන්නේද එසේ වීමට හේතු නැත්තේය. මෙයද ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි, ඖදාරිකය. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේ මය. මෙය ඇතැයි මෙසේ දැන එයින් මිදීම දක්නා තථාගත තෙම එය ඉක්ම වූයේ වෙයි.