3. 1. 1.
දේවදහ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම් ශාක්‍ය රජුන්ගේ නියම් ගමෙහි වාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කථාකළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ යම් කිසිවෙක් විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන්ද, අළුත්වූ කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි නැවත නොඉපදීමවේ. මත්තෙහි නොඉපදී මෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මනැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, සමහර මහණ බමුණෙක් ඇත්තාහ. මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය.
මහණෙනි, මම මෙබඳු වාද ඇති නිගණ්ඨයන් වෙත පැමිණ මෙසේ කියමි. ‘ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද,ඒ සියල්ල පෙරකළ කර්මහේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණි කර්මයන් තපසින් කෙළවර කිරීමෙන්ද, අළුත්වූ කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි කර්ම හට නොගන්නේය. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාහුය. මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි අසමි.
මහණෙනි, ඉදින් මා විසින් මෙසේ අසන ලද්දාවූ ඒ නිගණ්ඨයෝ ‘එසේයයි ප්‍රකාශ කෙරෙත්ද’ මම ඔවුන්ගෙන් ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද, තෙපි ‘අපි, පෙර වූවාහුමයයි දනිව්ද, නොවූවාහුමයයි දනිව්දැයි’ අසමි.
‘ඇවැත්නි, එය නොදනිමුයයි’ කියත්.
‘ඇවැත් නිගණ්ඨයිනි කිමෙක්ද තෙපි පෙර අපි පාපකර්ම කෙළෙමුයයි දනිව්ද? නොකෙළෙමුයයි දනිව්දැයි, අසමි.
‘ඇවැත්නි එය නොදනිමුයයි’ කියත්
‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙබඳුවූ හෝ, මෙබඳුවූ හෝ පාපකර්ම කෙළෙමුයි දනිව්ද?’
‘ඇවැත්නි, එය නොදනිමුයයි’ කියත්.
‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දනිව්ද?’
‘ඇවැත්නි, එය නොදනිමුයි’ කියත්.
‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුශල ධර්මයන්ගේ වැඩීමත් දනිව්දැයි, අසමි.
‘ඇවැත්නි එය නොදනිමුයි’ කියත්.
ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි, තෙපි පෙර අපිවීමු යයිද නොදන්නාහුය. නොවීමුයයි නොදන්නාහුය. පෙර අපි පාපකර්මය කෙළෙමුයයිද නොදන්නහුය. නොකෙළෙමුයයිද නොදන්නාහුය. මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයිද නොදන්නාහුය. මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයිද නොදන්නාහුය. මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් නොදන්නාහුය. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳීයිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගැණීමවේ. මත්තෙහි හටනොගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේ යයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.
ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් තෙපි පෙර අපි වීමුයයි දන්නාහුද, නොවීමුයයි දන්නාහුද, පෙර අපි පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද, නොකෙළෙමුයයි දන්නාහුද, මෙබඳු මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද, මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් දන්නාහුද, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ, දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳිත්. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන්, අලුත්වූ කර්මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම් වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය”යි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය’.