2. 1. 10.
අපණ්ණක සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංඝයා සමග සැරිසරා වඩනාසේක් කොසොල් දනව් වැස්සන්ගේ ශාලානම් බමුණුගම යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. ශාලානම් ගම්වැසි බ්රාහ්මණ ගෘහපතීහු ශාක්යපුත්රවූ ශාක්ය වංශයෙන් පැවිදිවූ ශ්රමණ භවත් ගෞතම තෙම වනාහී කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංඝයා සමග සැරිසරණසේක් ශාලානම් ගමට පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි: “ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක් සම්බුද්ධහ අෂ්ටවිද්යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ. යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්රේෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්ම වීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්ය්ය සත්ය ධර්මයන් අවබෝධ කළහ. භාග්යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම් යහපත්ය”
ඉක්බිති ශාලානම් ගම්වැසි බ්රාහ්මණ ගෘහපතීහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ, සමහරු භාග්යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහරු භාග්යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක උන්හ. සමහරු භාග්යවතුන් වහන්සේ යම් තැනකද ඒ දෙසට ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ) එක පැත්තක උන්හ. සමහරු භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි නාම ගොත්රය අස්වා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දවූ වාහු එක පැත්තක උන්හ. එක පැත්තක උන්නාවූම ශාලානම් ගම්වැසිවූ බ්රාහ්මණ ගෘහ පතියන්ට භාග්යවතුන්වහන්සේ මෙය වදාළේය “ගෘහපතියෙනි, යමෙකු කෙරෙහි නුඹලා විසින් කරුණු සහිතවූ ශ්රද්ධාවක් ලබන ලද්දීද, තොපට එබඳුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් ඇත්තේද?” “ස්වාමීනි, යමෙකු කෙරෙහි අප විසින් කරුණු සහිතවූ ශ්රද්ධාවක් ලබන ලද්දීද, අපට එබඳුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් නැත්තේය.” “ගෘහපතියෙනි, මනාපවූ ශාස්තෘවරයෙකු නොලබන්නාවූ තොප විසින් මේ ඒකාන්තවූ ධර්මය සමාදන්ව පැවතිය යුතුයි. ගෘහපතියෙනි, ඒ ධර්මය වනාහී සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.
“ගෘහපතියෙනි, ඒකාන්තවූ ධර්ම තෙම කවරේද? “ගෘහපතියෙනි, මෙසේ කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. දුන් දෙයෙහි විපාක නැත. කරන ලද පූජාවෙහි විපාක නැත. මෙහෙයීමෙන් කරනලද සත්කාරයෙහි විපාක නැත. කුසල කර්මයන්ගේ ඵලයක් නැත. විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට උපකාර අපකාර කිරීමේ විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. ලෝකයෙහී යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කෙරෙද්ද, එබඳු යහපත් මාර්ගයෙහි ගමන් කරන්නාවූ මනා කොට පිළිපදින්නාවූ මහණ බමුණෝ නැතැයි. ගෘහපතියෙනි, ඒ
මහණ බමුණන්ට සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කියත්. දුන් දෙයෙහි විපාක ඇත. කරන ලද පූජාවෙහි විපාක ඇත මෙහෙයීමෙන් කරණලද සත්කාරයෙහි විපාක ඇත. කුසලා කුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහ’යි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ නොවෙත්ද?” “එසේය, ස්වාමීනි.”
“ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද (එනම්) ‘දුන් දෙයෙහි විපාක නැත. කුසලා කුසලා කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට සංග්රහ කිරීමේ විපාක නැත. පියාට සංග්රහ කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනා කොට පිළි පන්නාවූ මහණ බමුණෝ ලොව නැත්තාහයි’ කියත්ද, ඔවුන් යම් මේ කයින් මනාව හැසිරීමය, වචනයෙන් මනාව හැසිරීමය, සිතින් මනාව හැසිරීමය, යන මේ කුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් නොමනා හැසිරීමය, වචනයෙන් නොමනා හැසිරීමය, සිතින් නොමනා හැසිරීමය, යන මේ අකුසල ධර්මතුන සමාදන්ව පවතින්නාහුය, යන මෙය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසීම, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්රම්යයෙහි, (අත්හැර දැමීම) ආනිශංසය පිරිසිදු පක්ෂය නොමදකිත්. ඇත්තාවූම පරලොව පරලොවක් නැතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. එය මොහුගේ මිථ්යා දෘෂ්ටිය වේ. ඇත්තාවූම පරලොව (ගැණ) පරලොවක් නැතැයි කල්පනා කරයි. එය ඔහුගේ මිථ්යා කල්පනාව වේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැත යන වචනය කියයි. එය මොහුගේ මිථ්යා වචනයවේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි කියයි. යම් ඒ පරලොව දන්නාවූ රහත්හු වෙත්ද ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි අනුන්ට හඟවයි. ඒ ඔහුගේ අසත්ය ධර්මය හැඟවීමවේ. ඒ අසත්යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කෙරෙයි. අනුන් පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම ඔහුගේ සිල්වත් බව දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්යා දෘෂ්ටියද, මිථ්යා කල්පනාවද, මිථ්යා වචනයද, ආර්ය්යයන්ට විරුද්ධවීමද, අසත්යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ ඔහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, එහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහී පරලොවෙක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් වනාහී පරලොවෙක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත් වන්නාවූ නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන් පරලොවෙක් නොතිබේවා ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්යවේවා. එතකුදුවුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම, මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවූයේ වෙයි. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම නාස්තීකවාද ඇති මිථ්යා දෘෂ්ටිකයෙක් වෙයි, ඉදින් වනාහී පරලොවෙක් ඇත්තේ නම් මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය, යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, යන යමකුත් ඇද්ද, මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ දෙලොව පරාජය ගන්නේවේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම නපුරුකොට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ එක් කොටසක් පැතිර සිටියි. කුසල්වූ කාරණය හිස්වෙයි.