1. 5. 9.
9. බ්රහ්ම නිමන්තණික සූත්රය
501. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පිඩු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මම එක කාලයක උක්කට්ඨා නම් නුවර සුභග නම් වනයෙහිවූ විශාල සල්ගස මුල වාසය කෙළෙමි. මහණෙනි, ඒ කාලයෙහිදී බකබ්රහ්මයාට මෙබඳුවූ ලාමකවූ මිථ්යාදෘෂ්ටි අදහසක් උපන්නේය. (කෙසේදයත්) ‘මේ බ්රහ්මාත්ම භාවය නිත්යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය සියල්ල සම්පූර්ණය, මෙය නැති නොවන ස්වභාව ඇත්තක්ය. මෙහි උපන්නෙක් වනාහි නැවත නූපදියි, නොදිරයි, නොමැරෙයි, චුත නොවෙයි, නූපදියි, මෙයින් අන්යවූ මත්තෙහි නිර්වාණයක් නැතැ’යි කියායි. මහණෙනි, ඉක්බිතිව මම මාගේ සිතින් බක බ්රහ්මයාගේ සිතෙහි අදහස දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අතක් දිගු කරන්නේද දිගුකළ අතක් හකුලන්නේද, එපරිද්දෙන්ම උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සල්ගස මුලදී අතුරුදහන්ව බ්රහ්ම ලෝකයෙහි පහළවීමි.
“මහණෙනි, එන්නාවූ මා බක බ්රහ්මතෙම දුරදීම දැක්කේය. දැක, මට මෙසේ කීයේය. ‘නිදුකාණෙනි, එනු මැනවි. නිදුකාණෙනි, යහපත් ගමනක් වේවා, නිදුකාණනි, බොහෝ කලකින් පැමිණියෙහිය. නිදුකාණෙනි, මේ බ්රහ්ම ආත්මය නිත්යය, මෙය ස්ථිරය, මෙය සියල්ලෙන් සම්පූර්ණය. මෙය චුත නොවන ස්වභාව ඇත්තක්ය. මේ වනාහි නොම උපදියි, නොදිරයි, නොමැරෙයි, චුත නොවෙයි, නොඋපදියි. මෙයින් මත්තෙහි අන්යවූ නිවණක් නැත්තේය’යි (කියායි.)
“මහණෙනි, මෙසේ කී කල්හි, මම බ්රහ්මයාට මෙසේ කීයෙමි. පින්වත, ඒකාන්තයෙන් බක බ්රහ්මතෙම අවිද්යාවෙන් යුක්ත වූයේය. (හෙවත් මුලාවූයේය). පින්වත, ඒකාන්තයෙන් බක බ්රහ්මතෙම අවිද්යාවෙන් යුක්ත වූයේය. යමෙක් වනාහි අනිත්ය වූවක්ම නිත්යයයි කියන්නේද, ස්ථිරනොවූවක්ම ස්ථිරයයි කියන්නේද, සදාකාලික නුවූවක්ම සදාකාලිකයයි කියන්නේද, සියල්ලෙන් සම්පූර්ණ නුවූවක්ම සියල්ලෙන් සම්පූර්ණයයි කියන්නේද, චුතවන ස්වභාව ඇත්තක්ම චුත නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේද, යම් බ්රහ්ම ලෝකයෙක්හි උපදීද, ජරාවට පත්වේද, මැරේද, චුතවේද, උපදීද, එය මෙහි නොම උපදියි. නොදිරයි. නොමැරෙයි, චුත නොවෙයි, නොඋපදියි. මෙයින් මත්තෙහි ඇත්තාවූ නිවණක් නැත්තේයයි කියන්නේද, (එසේ කියන) බක බ්රහ්ම තෙම මුලා වූයේය (කියායි.)
502. “මහණෙනි, ඉක්බිතිව පාපී මාරතෙම එක්තරා පාරිසජ්ජ බ්රහ්මයෙකුට ආවෙශවී මට මෙසේ කීයේය. ‘මහණ, මහණ, මේ බ්රහ්ම පදවියට නින්දා නොකරව, මෙයට නින්දා නොකරව, මහණ මේ බ්රහ්මයා වනාහි මහා බ්රහ්මයාය. අන්යයන් මැඩ පවත් වන්නාය. අනුන් විසින් නොමැඩ පවත්වන ලද්දේය, එකාන්තයෙන් සියල්ල දක්නේය. සියල්ලන් තමන් වසඟයෙහි පවත්වන්නාය. ලෝකයට අධිපතිය ලෝක කර්තෘය, සියල්ල මවන්නාය, ලෝක ශ්රේෂ්ඨයාය, ලොක වාසීන් බෙදන්නාය, වසඟයෙහි පවත්වන්නාය, උපන්නාවූද, උපදිමින් සිටින්නාවූද සත්වයින්ගේ පියාය.
මහණ, ඔබට පෙර ලෝකයෙහි (අනිත්යය දුකය යනාදීන්) පෘථිවි ධාතුවට ගරහන්නාවූ පෘථිවි ධාතුවට පිළිකුල් කරන්නාවූ, ආපො ධාතුවට ගරහන්නාවූ, අපො ධාතුව පිළිකුල් කරන්නාවූ, තෙජො ධාතුවට ගරහන්නාවූ, තෙජො ධාතුව පිළිකුල් කරන්නාවූ, වයො ධාතුවට ගරහන්නාවූ, වායො ධාතුව පිළිකුල් කරන්නාවූ, භූතයන්ට ගරහන්නාවූ භූතයන් පිළිකුල් කරන්නාවූ, දෙවියන්ට ගරහන්නාවූ, දෙවියන් පිළිකුල් කරන්නාවූ, මාරයාට ගරහන්නාවූ, මාරයා පිළිකුල් කරන්නාවූ, බ්රහ්මයාට ගරහන්නාවූ, බ්රහ්මයා පිළිකුල් කරන්නාවූ; ඔබ වැනි මහණ බමුණෝ වූහ. ඔවුහු කය බිඳීමෙන් දිවි සිඳීමෙන් සතර අපායෙහි උපන්නාහුය. මහණ, නුඹට පෙර ලෝකයෙහි පෘථිවි ධාතුව ප්රශංසා කරන්නාවූ පෘථිවි ධාතුවට සතුටු වන්නාවූ, ආපො ධාතුවට ප්රශංසා කරන්නාවූ, ආපො ධාතුවට සතුටු වන්නාවූ, තෙජො ධාතුවට ප්රශංසා කරන්නාවූ තෙජො ධාතුවට සතුටු වන්නාවූ, වායො ධාතුවට ප්රශංසා කරන්නාවූ වායො ධාතුවට සතුටු වන්නාවූ, භූතයන්ට ප්රශංසා කරන්නාවූ භූතයන්ට සතුටු වන්නාවූ, දෙවියන්ට ප්රශංසා කරන්නාවූ දෙවියන්ට සතුටු වන්නාවූ, බ්රහ්මයාට ප්රශංසා කරන්නාවූ බ්රහ්මයාට සතුටු වන්නාවූ, මහණ බමුණෝ සිටියහ. ඔව්හු කය බිඳීමෙන් දිවි සිඳී මෙන් බ්රහ්ම ලෝකයෙහි උපන්නාහුය.
මහණ, එහෙයින් මම ඔබට මෙසේ කියමි. නිදුකාණෙනි, බ්රහ්මතෙමේ යමක් ඔබට කීයේද, ඔබ එයම කරව, ඔබ බ්රහ්මයාගේ වචනය, නොඉක්මවව, මහණ, ඉදින් ඔබ බ්රහ්මයාගේ වචනය, ඉක්මවන්නෙහි නම්, යම්සේ පුරුෂයෙක් තමා වෙතට එන්නාවූ ශ්රී කාන්තාව (සිවුරියන්) මුගුරකින් තැළීමෙන් ආපසු එළවාද, මහණ, යම්සේ හෝ පුරුෂයෙක් ගැඹුරු මහ වලක වැටෙන්නේ අතින්ද, පයින්ද, පොළව අල්වා නොගන්නේද, (හෙවත් පොළොවෙහි අල්වා ගතයුතු පා තැබිය යුතු තැන් අතහැර වළට වැටෙන්නේද) මහණ, ඔබටද මෙසේම වන්නේය. නිදුකාණෙනි, එබැවින් ඔබ යමක් බ්රහ්ම තෙම කීයේද, එයම කරව. ඔබ බ්රහ්මයාගේ වචනය නොයික්මවව, මහණ, ඔබ එක් රැස්ව උන් බ්රහ්ම පිරිස දක්නේ නොවේද?’ මහණෙනි, මෙසේ වනාහි පාපීවූ මාර තෙම මට බ්රහ්ම පිරිස දැක්වීය.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පාපීවූ මාරයාට මෙය කීමි. ‘පාපිය, මම තා දනිමි. මා තා නොදනියයි නොසිතව පාපිය ඔබ මාරයා වෙහිය, මාරය, යම් බ්රහ්මයෙකුත් වේද, යම් බ්රහ්ම පිරිසකුත් වේද, යම් පිරිවර බ්රහ්මයෝත් වෙත්ද, ඒ සියල්ල තාගේ අතට අසුවූහ. ඒ සියලු දෙනාම තාගේ වසඟයට ගියාහුය. පාපීය, ඔබට වනාහි මෙබඳු අදහසක් වෙයි. මේ තෙමේත් මට අසුවූ වෙක් වන්නේය. මට වසඟවූවෙක් වන්නේය. (කියාය) පාපීය. මම වනාහි තාගේ අතට අසුවූයේ නොවෙමි. ඔබට වසඟ වූයේ නොවෙමි.