1. 5. 10.
මාර තජ්ජනීය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගුනම් දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ.
2. එකල්හි පාපීවූ මාරතෙම මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේ වෙයි. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උඳුබත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය) ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ පැණවූ අස්නෙහි, වැඩ හුන්නේය, වැඩහිඳ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තමා ගැන කල්පනා කළහ.
3. මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුසට වැදී ආමාශයට ඇතුල්වූ, පාපීවූ මාරයා දුටහ. දැක, පාපීවූ, මාරයාට මෙසේ කීහ. “පාපීය, නික්මෙව, පාපිය, නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවා යි කීහ.
4. ඉක්බිති පාපීවූ මාරයාට මේ සිතවිය. “මේ ශ්‍රමණතෙම, මා නොදැනම නොදැකම පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි මෙසේ කීයේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ දන්නේද”, කියායි.
5. ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පාපීවූ මාරයාට මෙසේ කීහ. “පාපීමාරය, මේ කාරණයෙහිලා මම තා දනිමි. මා නොදනීයයි නුඹ නොසිතව. පාපිය, නුඹ මාරයාවෙහිය. පාපිය නුඹ මෙසේ සිතයි. ‘මේ ශ්‍රමණ තෙම මා නොදැනම, නොදැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි කියන්නේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද, මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ නම් දන්නේද?” (කියායි.)
6. ඉක්බිති පාපීවූ, මාරයාට මෙසේ සිත්විය. “මේ ශ්‍රමණ තෙමේ මා දැනම, දැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, ඔබට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස නොවේවා’යි කියන්නේය” (යනු වෙනි). ඉක්බිති පාපීවූ මාරතෙම ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ මුවින් නික්ම කවුළුවෙන් පිටත සිටියේය.
7. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කවුළුව අසල සිටියාවූ, පාපීවූ, මාරයා දුටහ. දැක පාපීවූ මාරයාට මෙසේ කීහ. “මාරය ඔතනදීද මම තා දකිමි. මා නොදකීයයි නුඹ නොසිතව පාපිය, මේ නුඹ කවුළුව අසල සිටියෙහිය.
8. “පාපිය, පෙරවූවක් කියමි. මම දූසීනම් මාරයෙක්වීමි. ඒ මට කාලීනම් නැගනියක් විය. නුඹ ඇගේ පුත්‍රයාය. ඒ නුඹ මාගේ බෑනා විය. මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි පහළ වූහ. මාරය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විධුරය සඤ්ජිවයයන නම් ඇති අග්‍රශ්‍රාවක දෙනමක් විය. මාරය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ යම් පමණ ශ්‍රාවක සමූහයා අතුරෙන් ධර්ම දේශනා කිරීමෙහි, විධුර ස්ථවිරයන් වහන්සේ හා සමානවූ කිසිවෙක් නොවූහ. මාරය මේ කාරණයෙන් ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේට, ‘විධුරය, විධුරය, කියාම නාමය පහළ විය.
ආයුෂ්මත් පන පාපිය සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යයට ගියේද, වෘක්ෂ මූලයකට ගියේද, ශුන්‍යාගාරයට ගියේද, ඉතා පහසුවෙන් නිරෝධ සමාපත්තියට සමවදියි. මාරය, මම පෙර වූවක් කියමි. ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැදී සිටියහ. මාරය, ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවිකම් කරන්නෝද, මගියෝද, එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්වහන්සේ දුටුවාහුය. දැක, ඔවුන්ට, මේ අදහස විය. ‘ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි, පෙරනුවූ දෙයකි. මේ ශ්‍රමණ තෙම හිඳගෙනම කලුරිය කෙළේය. එබැවින් ඔහු දවමු’යි (කියාය) මාරය, ඉක්බිති ගොපල්ලෝද, වෙනත් සිවුපාවුන් රක්නෝද ගොවියෝද, මගියෝද, එක්ව තණ කොළද, දරද, වියලි ගොමද, ගෙනවුත් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්ගේ ශරීරය මතුයෙහි දමා ගිනිතබා ගියාහුය. මාරය ඉක්බිති, ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ඒ සමවතින් නැගිට සිවුරු ගසා දමා පෙරවරු කාලයෙහි පාසිවුරු ගෙන ගමට පිඩු පිණිස වැඩියහ. මාරය, ගවපාලකයෝද, සෙසු සිවුපාවුන් රකින්නෝද, මගියෝද, පිඩු පිණිස හැසිරෙන ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටුවාහුය. දැක ඔවුන්ට මේ සිතවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. ඒකාන්තයෙන් අද්භූතයකි. මේ ශ්‍රමණතෙම හිඳගෙනම, කලුරිය කෙළේය. හෙතෙම නැවත ජීවත්වෙයි, (කියාය) මාරය, මේ කාරණයෙන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේට, ‘සඤ්ජීව, සඤ්ජීව, කියාම නාමය පහළ විය.