1. 5. 8.
කොසම්බිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිත නම්වූ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කෝලාහල ඇතිව, විවාද කර ගනිමින් එකිනෙකා වචන නමැති ආයුධවලින් ඇනගනිමින් වාසය කරති. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති, සමාදානයට නොපැමිණෙති. එකිනෙකාට කරුණු නොහඟවති, කරුණු හැඟවීමට ඉඩ නොදෙති.
2. ඉක්බිති එක්තරා භික්ෂුවක්තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය: “ස්වාමීනි, මෙහි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කොලාහල ඇතිව, විවාද කරගනිමින් එකිනෙකා වචන නමැති ආයුධ වලින් ඇනගනිමින් වෙසෙත්. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති, සමාදානයට නොපැමිණෙති. එකිනෙකාට කරුණු නොහඟවති, කරුණු හැඟවීමට ඉඩ නොදෙති.”
3. ඉක්බිති භාග්යවතුන්වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූහ: “මහණ මෙහි එව, තොප මාගේ වචනයෙන් ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන්නාහුය’යි ඒ භික්ෂූන් අමතව”යි වදාළහ. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ඒ භික්ෂූන්හට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන්නාහ”යි කීයේය. “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂුහු ඒ භික්ෂුවට පිළිතුරුදී භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: “සැබෑද මහණෙනි, තෙපි හටගත් ඩබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු, එකිනෙකාට වචන නමැති ආයුධවලින් විදගනිමින් වාසය කරන්නාහුය. ඒ තොපි එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරන්නාහුය, සමාදානයට නොපැමිණෙන්නාහුය, එකිනෙකාට කරුණු නොහඟවන්නාහුය, කරුණු හැඟවීමට ඉඩ නොදෙන්නාහුය?” “එසේය, ස්වාමීනි”.
4. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? තොපි යම් කලෙක හටගත් ඩබර ඇත්තාහු හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු එකිනෙකා වචන නැමැති ආයුධ වලින් විදගනිමින් වාසය කරත් නම් එකල්හි, සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද මෛත්රී සහගත කාය කර්මය එළඹ සිටියේ යයි හෝ, සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද මෛත්රී සහගත වචී කර්මය එළඹ සිටියේ යයි හෝ, සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද මෛත්රී සහගත මනෝ කර්මය එළඹ සිටියේ යයි හෝ සිතන්නහුද? “නැත ස්වාමීනි”.
මහණෙනි, මෙසේ වනාහි තොපි යම් කලෙක හටගත් ඩබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු විවාද කරගන්නාහු, එකිනෙකා වචන නැමති ආයුධ වලින් විදගනිමින් වාසය කරන්නාහු නම්, තොපට සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද මෛත්රී සහගත කායකර්මය එළඹ නොසිටියේ වෙයි. සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද මෛත්රී සහගත වාක් කර්මය එළඹ නොසිටියේ වෙයි. සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද මෛත්රී සහගත මනො කර්මය එළඹ නොසිටියේ වෙයි. එසේ නම්, හිස් පුරුෂයිනි, තෙපි කුමක් දන්නාහු, කුමක් දක්නාහු, හටගත් ඩබර ඇත්තාහු හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු එකිනෙකාට වචන නමැති ආයුධ වලින් පහරදෙමින් වාසය කරව්ද? තොපි එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරන්නාහුය, සමාදානයට නොපැමිණෙන්නාහුය, එකිනෙකාට කරුණු නොහඟවන්නාහුය, කරුණු හැඟවීමට ඉඩ නොදෙන්නාහුය. හිස් පුරුෂයිනි, මේ වනාහි තොපට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
5. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළහ: “මහණෙනි, සිහිකටයුතුවූ, ප්රිය බව කරන්නාවූ, ගෞරවය ඇතිකරන්නාවූ, මේ ධර්ම හයක් සංග්රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද, පවතිත්. කවර සයක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවගේ මෛත්රී සහගත කාය කර්මය සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද එළඹ සිටියේ වෙයි. මේ ධර්මයද සිහිකටයුතුය, ප්රිය බව කරන්නේය, ගරු බව කරන්නේය, සංග්රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි. (1)
නැවතද මහණෙනි, භික්ෂුවගේ මෛත්රී සහගත වචීකර්මය සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද එළඹ සිටියේ වෙයි. මේ ධර්මයද සිහිකටයුතුය, ප්රිය බව කරන්නේය, ගරුබව කරන්නේය, සංග්රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි. (2)
නැවතද මහණෙනි, භික්ෂුවගේ මෛත්රී සහගත මනො කර්මය සබ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද රහසෙහිද එළඹ සිටියේ වෙයි. මේ ධර්මයද සිහි කටයුතුය, ප්රිය බව කරන්නේය, ගරුබව කරන්නේය, සංග්රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි. (3)
නැවතද මහණෙනි, භික්ෂුව දැහැමිවූ, දැහැමින් ලැබුනාවූ, යටත් පිරිසයින් පාත්රයට අල්ලන පමණ වූද, යම් ඒ ලාභයෝ වෙත්ද, එබඳුවූ ලාභයන් ශීලවත්වූ සබ්රහ්මචාරීන් හා නොබෙදා නොවළඳන්නේවේද, ඔවුනොවුන් හා සාධාරණව පරිභෝග කරන්නේ වේද, මේ ධර්මයද සිහි කටයුතුය ප්රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි. (4)