1. 5. 7.
වීමංසක සූත්‍රය
487. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පරසිත් නොදන්නාවූ විමසන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධද? නැද්ද? යි දැනගනු සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුය.”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් පහළ වන්නාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයෙහි අර්ථයද භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.”
“මහණෙනි, එසේවීනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
488. “මහණෙනි, පරසිත් නොදන්නාවූ, විමසන්නාවූ භික්ෂුව විසින් ධර්ම දෙකක් පිළිබඳව සර්වඥයන් වහන්සේ පරීක්ෂා කටයුතුයි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතු ධර්මයන්හිය –
ඇසින් හා කණින් දතයුතුවූ ක්ලෙශ සහගත යම් ධර්ම වෙත්නම්, ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසිය යුතුය. ඒ මේ කාරණය විමසන්නාවූ භික්ෂුව මෙසේ දැනගනියි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතුවූ කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. (1)
යම් විටෙක එසේ විමසා බලන්නේ ඇසින් හා කණින් දතයුතුවූ, කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දකීද, ඉක්බිති තව දුරටත් විමසා බලන්නේය. ඇසින් හා කණින් දත යුතුවූ මිශ්‍රවූ යම් ධර්ම වෙත් නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි පරීක්ෂා කරන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන්නාවූ භික්ෂුව මෙසේ දැනගනියි. (එනම්) මිශ්‍රවූ යම් ධර්ම වෙත් නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. (2)
යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ හොඳ නරක මිශ්‍ර ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් සෝදිසි කරන්නේය: ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදු (කෙලෙස් රහිත) ධර්ම කෙනෙක් වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසා බලන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) පිරිසිදුවූ (කෙලෙස් රහිත) යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇත කියාය. (3)
යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ පිරිසිදුවූ ධර්ම තථාගතයන් වහන්සේට ඇතැයි දැනගනීද ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය: “මේ පින්වත් තෙමේ (බුදුන් වහන්සේ) බොහෝ කලක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේද නැතහොත් සුලු කාලයක් තුළ එයින් යුක්ත වූයේදැයි පරීක්ෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මේ පින්වත් තෙමේ බොහෝ කලක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ කියාය. (4)
යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ මේ පින්වත් තෙමේ බොහෝ කාලයක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය, සුලු කාලයක් තුළ නොවේයැයි දැන ගනීද, ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය: “මේ පින්වත් භික්ෂුව ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී යසසට පැමිණියේය. ඔහුට මේ ලෝකයෙහි යම් යම් දොස් ඇත්දැයි පරීක්ෂා කරන්නේය.”
“මහණෙනි, මේ ශාසනයෙහි (භික්ෂුව) යම්තාක් ප්‍රසිද්ධ බවට නොපැමිණියේ වේද, පරිවාර සම්පත්තියට නොපැමිණියේවේද, ඒතාක් ඔහුට යම් යම් දෝෂයෝ ඇති නොවෙත්. මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ප්‍රසිද්ධියට පැමිණියේද, පිරිවර ආදි සම්පත්තියට පැමිණියේද, එවිට ඔහුට මේ ලෝකයෙහි යම් යම් දෝෂයෝ ඇතිවෙත්.”
ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදි සම්පත්තියට පැමිණියේය. ඔහුට මෙහි යම් යම් දෝෂ නැතැයි කියාය. (5)
යම්විටෙක එසේ පරීක්ෂා කරන්නේ මෙසේ දනීද, මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියහ. පිරිවර ආදි සම්පත්තියට පැමිණියේය. මේ ලෝකයෙහි ඔහුට යම් යම් දෝෂයෝ නැතැයි දැනගනීද, ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය: “මේ ආයුෂ්මත් තෙම නිර්භය වූයේද, මේ ආයුෂ්මත් තෙම භයින් යුක්ත වූයේ නොවේද, රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරන්නේද? කියා පරීක්ෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් තෙම නිර්භය වූයේය. භයින් යුක්තවූයේ නොවෙයි, පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරයි. (6)